2020 ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරග ඉසව්වට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවක්

by Staff writer 07-01-2020 | 8:51 PM

COLOMBO ( News 1st ) - මැතිල්ඩා කාල්සන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අශ්වාරෝහක තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගෙන තිබේ.

ඇය වාර්තා අතරට එක්වන්නේ, ඔලිම්පික් ඉතිහාසයේ අශ්වාරෝහක තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන පළමු ක්‍රීඩිකාව ලෙසට ය. මැතිල්ඩා කාල්සන් ශ්‍රී ලංකාවේ උපත ලැබූ අතර වයස මාස 3ක් වනවිට ඇයගේ භාරකාරත්වය ස්වීඩන පවුලකට ලබා දී තිබේ. ස්වීඩනයේ ජීවිතයට හුරුවීමෙන් අනතුරුව ඇය සිය විනෝදාංශය ලෙස තෝරාගත්තේ, අශ්වයින් හා පෝනියන් සමග ගත කිරීමයි. මැතිල්ඩා පසුව කාලයත් සමග වෘත්තීය මට්ටමට පැමිණියේ ඇය සතු නොපසුබට උත්සාහය හේතුවෙනි. ස්විඩනය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ හැකියාව පැවතියද ඇය 2018 වසරේ ද ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තම මාතෘ භූමිය නියෝජනය කරමින් ලොව පුරා තරග කිරීමට ය. 2020 ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරග ඉසව්වට අයත් තරග අංශ 3ක් නියෝජනය කරමින් තරග කිරීමට අවස්ථාව උදා වී ඇත්තේ තරගකරුවන් 200 දෙනෙකුට පමණි. එහිදී කණ්ඩායමකට ඇතුළත් නොවී කේවල තරග සඳහා ඉදිරිපත්වීම සඳහා ක්‍රීඩිකාවන් 15කට අවස්ථාව හිමිවන අතර ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන් තෝරා ගනු ලබයි. ගිනිකොණ දිග ආසියානු හා ශ්‍රී ලංකාව ඇතුළු හා ඕෂනියා කලාපීය රටවල් සඳහා හිමිවූයේ ස්ථාන 2ක් පමණි. මැතිල්ඩා ජාත්‍යන්තරයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇයට එක් ස්ථානයක් හිමිව තිබේ.