යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය

යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාව පාබල හමුදාවට

by Staff writer 30-12-2019 | 2:33 PM

COLOMBO ( News 1st ) - 22 වන යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදාව සමත් විය

එහි අනු ශූරතාව හිමිවූයේ ගජබා රෙජිමේන්තුවට ය. 22 වන යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය දින 3ක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙවර ක්‍රීඩා තරගාවලිය පැවැත්වූයේ රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700 ක පමණ සහභාගීත්වයෙන් ය. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උත්සවය පැවැත්විණි. ශ්‍රී ලංකා පාබල හමුදාව තරගාවලියේ සමස්ත ශුරතාව හිමිකර ගත්තේ රන් පදක්කම් 64 ක් හිමි කරගනිමින් ය. අනු ශූරතාව හිමි කරගත් ගජබා රෙජිමේන්තුව රන් පදක්කම් 32 ක් දිනා ගත්තේ ය. තරගාවලියේ සමාප්ති උත්සවයට සමගාමීව පැරශුට් සංදර්ශනයක් ද සංවිධානය කර තිබුණි. තරගාවලියේ මලල ක්‍රීඩා ශුරතාව රන් පදක්කම් 26 ක් දිනාගත් ශ්‍රී ලංකා පාබල හමුදාවටම හිමිවීම විශේෂත්වයකි. රන් පදක්කම් 14ක් දිනාගත් විජයබාහු පාබල රෙජිමේන්තුව තරගාවලියේ මලල ක්‍රීඩා අනුශූරතාව හිමිකර ගත්තේ ය. දින 3ක් පුරා පැවැති තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිවූයේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එම්.වී.ටී.ධනංජයටයි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් සී.එන්.බී.ඉන්ද්‍රපාල මෙවර වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ය.