ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ නෙට්බෝල් තරගාවලි 8 කට

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ නෙට්බෝල් තරගාවලි 8 කට

by Staff writer 27-12-2019 | 1:34 PM
COLOMBO (News 1st) : ලබන වසරේදී ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලි 8 කට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. එම ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලි 8 සඳහා ක්‍රීඩිකාවන් 35 දෙනකුගෙන් සමන්විත ජාතික සංචිතයක් ද නම් කර තිබේ. මෙම සංචිතය ඉදිරියේදී වඩාත් ශක්තිමත් කිරීම සඳහා වයස අවුරුදු 21 න් පහළ කනිෂ්ඨ සංචිතයක් මෙන්ම වයස 16 න් පහළ සංචිතයක් ද සූදානම් කිරීමට ශ්‍රී ලංකා නෙට්බොල් සම්මේලනය කටයුතු කර ඇති බව සඳහන් ය. ජාතික කනිෂ්ඨ සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 100 කට ආසන්න පිරිසක් තෝරා ගැනීමට නියමිත අතර 16 න් පහළ සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 60 දෙනකු දැනටමත් තෝරාගෙන තිබේ. ශ්‍රී ලංකාව 2020 වසරේදී දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු නෙට්බොල් ශූරතාවලියට සහභාගී වීමට නියමිත අතර තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු ගෘහස්ත ක්‍රීඩා ශූරතාවලියට ද එළඹෙන 2020 වසරේදී ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි. ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙසින් ආසියානු තරගාවලි ජයග්‍රහණ ලබාදුන් තිලකා ජිනදාස මෙනවිය කටයුතු කරන අතර ඇයගේ සහාය පුහුණුකාරිණිය ලෙස දීපි නාලිකා ප්‍රසාදි කටයුතු කරති.