ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක

හුදකලා සටනක නිරත වූ ඕෂධ මංගල ටෙස්ට් ශතකය ලබා ගනී: ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක

by Staff writer 23-12-2019 | 7:00 AM

COLOMBO ( News 1st ) - තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ අවසන් දිනය අදයි.

තරගය පකිස්ථානයේ කරච්චිහිදී පැවැත්වේ. ඊයේ තරගය දිනය නිමා වනවිට ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 60යි එක් පන්දුවක් අවසානයේ රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 212 කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඕෂධ ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් රැස් කරගෙන සිටියේ ය. 14 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 65 ක් රැස් කළ අතර ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 19 ක් හා දිමුත් කරුණාරත්න ලකුණූ 16 ක් රැස් කළ හ. පන්දු යැවීමේදී නසීම් ෂා කඩුලු 3 ක් දවාගෙන තිබුණි. ඊයේ දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පකිස්ථානය කඩුලු 2ක් දැවී ලකුණු 395ක් ලබා සිටි අතර ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ, කඩුලු 3ක් දැවී ලකුණු 555ක් ලබා සිටියදී ය. පකිස්ථාන ඉනිමේ පළමු පිතිකරුවන් සිව් දෙනාම ශතක වාර්තා කිරීම විශේෂත්වයකි. ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් අබිඩ් අලී සහ ශාන් මසූඩ් ලකුණු 278ක වාර්තාගත සබඳතාවයක් ගොඩ නැගුව අතර අබිඩ් අලී ලකුණු 174ක් සහ ශාන් මසූඩ් ලකුණු 135ක් ලබා ගත් හ. නායක අසාර් අලී ලකුණු 118ක් සහ බාබර් අසාම් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාවේ 100කි. මෙලෙස ඉනිමේ පළමු ක්‍රීඩකයින් සිව්දෙනාම ශතක වාර්තා කිරීමක් ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූයේ දෙවැනි වරට වීම විශේෂත්වයකි. පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 2ක් සහ ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් ලබා ගත්තේය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ, අනුව ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 191කි. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 271ක් ලබා ගත්තේ ය. ඒ, අනුව ශ්‍රී ලංකාව තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 264ක් ලබා ගත යුතු ය.