ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය පකිස්ථානයට

by Staff writer 23-12-2019 | 11:42 AM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක පකිස්ථානය අද සමත් විය.

ඒ, දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 263 කින් ජය ගනිමිනි. වසර 10 කට පසු පකිස්ථානයට ටෙස්ට් තරගයක අත්දැකීම හිමිකර දෙමින් කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසිය වාසිය හිමි කරගත් පකිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ, අනුව පිටියට පිවිසි ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛයාව 191කි. එම ඉනිමේදී බාබර් අසාම් ලකුණු 60 ක් රැස් කළ අතර අසාද් ශෆීක් ලකුණු 63 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ළහිරු කුමාර හා ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 4 බැගින් දවා ගත්තේ ය. අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 කි. එම ඉනිමේදී දිනේෂ් චන්දිමාල් ලකුණු 78 ක් රැස් කළ අතර දිල්රුවන් පෙරේරා ලකුණු 48 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 80 ක් පිටුපසින් සිය දෙවැනි ඉනිම ඇරඹි සත්කාරක ක්‍රීඩකයින් සිය ඉනිම අත්හිටවූවේ කඩුලු 3 ක් දැවී ලකුණු 555 ක් රැස් කරගෙන සිටියදී ය. පකිස්ථාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් අබිඩ් අලී සහ ශාන් මසූඩ් ලකුණු 278 ක වාර්තාගත සබඳතාවයක් ගොඩ නැගුවේ ය. එය වාර්තා අතරට එක්වූයේ පකිස්ථානය වෙනුවෙන් පළමු කඩුල්ල සඳහා වාර්තා වූ දෙවැනි හොඳම ලකුණු සබඳතාව ලෙස ය. පකිස්ථාන දෙවැනි ඉනිමේදී මුල්පෙල පිතිකරුවන් සිව්දෙනාම ශතක වාර්තා කළ අතර වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එවන් දස්කමක් දැක් වූ ලොව දෙවන කණ්ඩායම ලෙස පකිස්ථානය වාර්තා අතරට එක් විය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක වාර්තාගත හඹායාමක් අපේක්ෂාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඊයේ දිනය නිමා වනවිට පන්දුවාර 60 යි එක් පන්දුවක් අවසානයේ රැස් කරගෙන සිටි ලකුණු සංඛයාව 212කි. අද දිනයේ දී ඉනිමට කිසිඳු ලකුණක් එක් කිරීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 3 ද දවා ගැනීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත් විය. ඒ, සඳහා ඔවුන්ට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූයේ පන්දු 16ක් පමණි. මංගල ශතකය වාර්තා කළ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 102 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 65 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී යොවුන් ක්‍රීඩක නසීම් ශා කඩුළු 5 ක් දවාගත් අතර ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් ලොව ලාබාලතම වේග පන්දු යවන්නා ලෙස ඔහු වාර්තා අතරට එක් විය. තරග දෙකේදීම ශතක වාර්තා කළ අබිඩ් අලී දෙවන තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.