චන්දිමාල්ගෙන් අර්ධ ශතකයක්

චන්දිමාල්ගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් වෙයි

by Staff writer 20-12-2019 | 6:45 PM

COLOMBO ( News 1st ) -  ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන පකිස්ථාන කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරනවිට කිසිවෙකු නොදැවී ලකුණු 57 ක් රැස් කර ගෙන සිටියේ ය. කරච්චිහිදී පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය සියලු දෙනා දැවී ලකුණු 191 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු ගණන 271කි. දෙවැනි දිනය සඳහා අද තරගය ආරම්භ කරනවිට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 64 කි. ශ්‍රී ලංකා පළමු ඉනිමේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 80 ක් තුළ දී බිඳ වැටුණි. ලසිත් ඇඹුල්දෙණිය සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 13 බැගින් රැස් කළ හ. නිරෝෂන් දික්වැල්ල ලකුණු 21 කි. ටෙස්ට් පිටියේ 18 වැනි අර්ධ ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 74 කට දැවී ගියේ ය. දිල්රුවන් පෙරේරා ලකුණු 48 කි. ශහීන් ෂා අෆ්රිඩී ලකුණු 77 ට කඩුලු 5 ක් දවාගත් අතර මොහොමඩ් අබ්බාස් ලකුණු 55 කට කඩුලු 4 ක් බිඳ හෙලුවේ ය. අද දිනය සඳහා තරගය නතර කරනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පකිස්ථාන කණ්ඩායමේ ශාන් මසූඩ් නොදැවී ලකුණු 21 ක් සහ අබීඩ් අලී නොදැවී ලකුණු 32 ක් රැස් කර ගෙන සිටිය හ.