ඔස්ට්‍රේලියාවට ලකුණු 134 ක විශිෂ්ට ජයක්

වෝනර්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

by Staff writer 27-10-2019 | 12:44 PM

News 1st - ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 134 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදි පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළේ, පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම අරඹමින් පිටියට පිවිසි නායක ඒරෝන් ෆින්ච් සහා ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියා ඉණිමේ පළමු කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 122 කි. නායක ඒරෝන් ෆින්ච් සිය 10 වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 64 කි. අනතුරුව පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් සමග එක් වූ ඒරන් ෆින්ච් ඔස්ට්‍රේලියා ඉණිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සබඳතාවක් ගොඩනැගුවේ ය. 7 වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කළ, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 62 ක් වාර්තා කළ අතර නොදැවී කඩුල්ලේ රැඳි සිටි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිය 33 වන උපන් දිනය යෙදී ඇති අද දිනයේ මංගල 20 යි 20 ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 100 ක් රැස් කළේ, හතරේ පහර 10 ක් හා හයේ පහර 4 ක් සමගිනි. එම ඉණිමත් සමගින් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම 20 යි 20 ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරු ලෙස වෝනර් වාර්තා අතරට එක්විය. ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 233 ක්. එම ලකුණු සංඛයාව වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව 20 යි 20 තරගයකදී රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛයාව ලෙසයි. පන්දු යැවීමේදී ළක්ෂාන් සදකැන් සහා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 99 ක් පමණයි. ධනුශ්ක ගුණතිලක ලකුණු 11 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු රැස් කර ගැනීමට පෙර හා භානුක රාජපක්ෂ ලකුණු 2 කට දැවී ගියේ ය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 16 ක් රැස් කළ අතර ඕෂද ප්‍රනාන්දු ලකුණු 13 යි. දසුන් ශානක ලකුණු 17 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳි සිටි නායක ලසිත් මාලිංග ලකුණු 13 ක් රැස් කරගෙන සිටියේ ය. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත් අතර ඇඩම් සැම්පා කඩුලු 3 ක් දවා ගෙන තිබේ. මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වන්නේ ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමකට එරෙහිව සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයකදී ඔස්ට්‍රේලියාව වාර්තා කළ ලකුණු පරතරය අතින් ඉහළම ජයග්‍රහණය ලෙසයි.