ගෝඨාට එරෙහිව අහිම්සා ගොනු කළ නඩුව ඉවතට

ගෝඨාභයට එරෙහිව ලසන්තගේ දියණිය අමෙරිකාවේ අධිකරණයක ගොනු කළ නඩුව ඉවතට

by Staff writer 22-10-2019 | 8:02 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය විසින් ඉවත දමා තිබේ. ඒ, තමාට එරෙහිව ගොනු කළ නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා එම අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව ය. අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සලකා බැලීමට, ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල තීරණ ගැනීමට හෝ තීන්දුවක් දීමට, තමන්ට ප්‍රමාණවත් නිල බලයක් නැතැයි කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඊට හේතුව ලෙස එම අධිකරණය දන්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට, විදේශීය නිලධාරීන්ගේ නිල මුක්තිය නීතිය යටතේ වධහිංසා පැමිණ වීම, පුද්ගල ඝාතනය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව මුක්තියක් ඇති බව ය. රාජපක්ෂ මහතා මෙම ක්‍රියා සිදු කර ඇත්තේ, ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස සේවය කළ අවධියේදී බව ද කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය සඳහන් කළේ ය. කෙසේ වෙතත් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ මෙම තීරණයට අභියෝග කරන බවට පැමිණිලිකාර පාර්ශවය වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.