ශ්‍රී ලංකාව ලෙබනනයට පරදී

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ ලෙබනනයට ජය

by Staff writer 16-10-2019 | 10:57 AM

COLOMBO ( News 1st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් ලෙබනනය ජය හිමිවිය.

මෙම තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණි. එය ක්‍රියාත්මක වූයේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලියේ එච් කාණ්ඩයේ තරගයක් ලෙසට ය. තරගය ආරම්භයේ සිටම ලෙබනන් ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල විය. 15 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ලෙබනනයේ හසාන් මාටවුක් ගෝල රැස් කිරීම ආරම්භ කළේය. ඔවුන් සිය දෙවැනි ගෝලය වාර්තා කළේ තරගයේ 36 වැනි මිනිත්තුවේදී ය. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය. ඒ, අනුව පළමු අර්ධය අවසානයේදී ලෙබනනය ගෝල 2ට 0ක් ලෙස පෙරමුණ ගෙන තිබුණි. දෙවැනි අර්ධයේදී දෙපිලෙන්ම තියුණු තරගයක් දක්නට ලැබුණි. ලෙබනනය සිය තුන්වැනි ගෝලය වාර්තා කළේ තරගය අවසන් වීමට මිනිත්තු 9ක් ඉතිරිව තිබියදී ය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට දෙවැනි අර්ධයේදී ද ගෝල වාර්තා කිරීමට නොහැකි විය. ඒ, අනුව තරගය අවසන් වූයේ ගෝල 3ට 0ක් ලෙස ලෙබනනයට ජය හිමිකර දෙමින් ය. H කාණ්ඩයේ නවතම ලකුණු සටහනට අනුව සහභාගී වූ තරග 3න් තරග 2ක් ජයගත් ලෙබනනය තුන්වැනි ස්ථානයේ පසු වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග 4න් කිසිදු තරගයක් ජය ගැනීමට අසමත් වූ අතර ඒ අනුව ඔවුන්ට H කාණ්ඩයේ හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.