ශ්‍රී ලංකාව පැරදු පකිස්ථානයට ජය

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය, පකිස්ථානයට

by Staff writer 03-10-2019 | 6:40 AM

News 1st - ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම සමත් විය.

ඒ, දෙරට අතර තරගාවලියේ තෙවැනි තරගය කඩුලු 5 කින් ජය ගනිමිනි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9 කට ලකුණු 297ක් රැස් කළේ ය. ඉනිම ආරම්භ කළේ‍්, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු යි. ලකුණු 4 ක් ලබා සිටියදී අවිශ්ක දවා ගැනීමට මොහොමඩ් අමීර් සමත් විය. ධනුෂ්ක ගුණතිලක සමග එක් වූ නායක ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 88 ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. තිරිමාන්න ලකුණු 36 යි. ඇන්ජලෝ පෙරේරා ලකුණු 13කට දැවී ගියේ ය. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක දෙවැනි එක්දින ශතකය වාර්තා කර තිබේ. වේගවත් පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 24 කින් ලකුණු 43යි. මොහොමඩ් අමීර් ලකුණු 50ට කඩුලු 3ක් දවා ගත්තේ ය. පකිස්ථාන පිළිතුරු ඉනිම ආරම්භ කළේ, ෆකර් සමාන් සහ අබීඩ් අලි. ඔවුන් දෙදෙනා පකිස්ථාන පළමු කඩුල්ලට ලකුණු 123ක සබඳතාවක් ගොඩනැගුහ. මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ අලී ලකුණු 74යි. බාබර් අසාම් ලකුණු 31ට දැවී ගියේ ය. 13 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ෆකර් සමාන් ලකුණු 76 ක් රැස් කළ අතර ඊට 4 පහර 7ක් සහ 6 පහරක් ඇතුලත් විණි. හාරිස් සොහේල් ලකුණු 56යි. ඊට 4 පහර 3ක් සහ 6 පහරක් ඇතුලත් විණි. නුවන් ප්‍රදීප් ලකුණු 53ට කඩුලු 2යි. පකිස්ථාන කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 48 යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස පකිස්ථානය ජය ගත්තේ ය. දෙරට අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.