ශ්‍රී ලංකා-පකිස්ථාන පළමු තරගයේ ජය පකිස්ථානයට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක් දින තරගයේ ජය පාකිස්ථානයට

by Staff writer 01-10-2019 | 7:07 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0 ක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සත්කාරක පාකිස්ථාන ක්‍රීඩකයෝ සමත් විය. ඒ දෙරට අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 67 ක ජයක් හිමිකර ගැනීමත් සමගයි. තරගය පාකිස්ථානයේ කරච්චි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි පැවැත්විය. වසර 10 කට පසු එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් පාකිස්ථාන නායක සෆ්රාන් අහමඩ් තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව පාකිස්ථාන ඉනිම අරඹමින් ෆකාර් සමාන් සහා ඉමාම් උල් හක් පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා පාකිස්ථාන ඉණිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 73කි. ඉමාම් උල් හක් ලකුණු 31 කට දැවී ගිය අතර සිය එක්දින දිවියේ 12 වන අර්ධ ශතකය වාර්තා කළ ෆකාර් සමාන් ලකුණු 54 ක් රැස් කළහ. අනතුරුවේ පිටියේ ස්ථාවර වූ හාරිස් සොහෙයිල් සහා බාබර් අසාම් පාකිස්ථාන ඉනිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සබඳතාවක් ගොඩනැගූහ. හාරිස් සොහෙයිල් ලකුණු 40 ක් රැස් කළ අතර බාබර් අසාම් පන්දු 105 කදී හතරේ පහර 8 ක් සහා හයේ පහර 4 ක් සමගින් ලකුණු 115 ක් රැස් කළේ, සිය 11 වන එක්දින ශතකය ද වාර්තා කරමිනි. වසර 10 කට පසු පාකිස්ථානය තුළ ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වූ අතර පාකිස්ථානය වෙනුවෙන් තුන්වන වැඩිම එක්දින ශතක ලාභියා ලෙස ද ඔහු වාර්තා අතරට එක්විය. පාකිස්ථාන ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 305කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඉෆ්ටිකර් අහමඩ් ලකුණු 32 ක් රැස් කළ අතර පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 2 ක් දවා ගත්තේ ය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 306 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු 28 ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට පාකිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. ධනුෂ්ක ගුණතිලක ලකුණූ 14 ක් සහා සධීර සමරවික්‍රම ලකුණු 6 ක් රැස් කළ අතර ඕෂද ප්‍රනාන්දු එක් ලකුණකට දැවී ගියහ. නායක ළහිරු තිරිමාන්නට සහා අවිශ්ක ප්‍රනාන්දුට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට අවස්ථාව හිමි නොවූහ. ජයග්‍රහණය පිළිබඳ සියලු බලාපොරොත්තු බිඳ වැටුණු මොහොතක පිටියේ එක්වුණු ශෙහාන් ජයසූරිය සහ දසුන් ශානක කිසිවෙකු නොසිතූ පරිද්දෙන් පාකිස්තානු පන්දු බල ඇණියට එරෙහිව දැවැන්ත ප්‍රතිරෝධයක් ගොඩ නගන්නේ තරගය පිළිබඳ අවධානයෙන් සිටි සියලු දෙනා විමතියට පත් කරමිනි. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉණිමේ හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 177 ක සබඳතාවක් ගොඩනගන්නේ සිය පෞද්ගලික හොදම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කරමින් වීම විශේෂත්වයකි. එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු හයවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු ඉහළම සබඳතාවක් ලෙසත් , පාකිස්ථානය තුළ පිතිකරුවන් යුගලයක් හයවන කඩුල්ල සඳහා ගොඩනැගු ඉහළම ලකුණු සබඳතාව ලෙසත් එය වාර්තා අතරට එක්විය. කණ්ඩායමක මුල් පෙළ පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 50 කට අඩු ලකුණූ සංඛයාකට දැවී ගිය අවස්ථාවකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් අනතුරුව ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව ලෙසද එය වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි. සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ ශෙහාන් ජයසූරිය ලකුණූ 96 කට දැවී ගිය අතර තුන්වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ දසුන් ශානක 68 කට දැවී ගියහ. කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් අතරින් සාර්ථක වීමට හැකිවූයේ ලකුණු 30 ක් රැස් කළ වනිදු හසරංගට පමණි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු දෙනා පන්දුවාර 46 යි පන්දු 5 ක් තුළ ලකුණූ 238 කට දවා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේදී උස්මන් ශින්වාරි ලකුණු 51 ට කඩුලු 5 ක් දවා ගත්හ.