කෙටිදුර ධාවන ශූර ක්‍රිස්ටියන් කොලමන්ගෙන් වාර්තාවක්

ලොව වේගවත්ම මිනිසා තමන් බවට ක්‍රිස්ටියන් නැවත වතාවක් සනාථ කරයි

by Staff writer 29-09-2019 | 11:18 AM

(News 1st) - 2019 වසරේ ලොව වේගවත්ම මිනිසා තමන් බවට නැවත වතාවක් සනාථ කිරීමට අමෙරිකාවේ කෙටිදුර ධාවන ශූර ක්‍රිස්ටියන් කොලමන් සමත් විය.

ඒ, දෝහා කටාර්හිදී පැවැති 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව ජය ගනිමිනි. 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඒ, අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්, ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්, අමෙරිකාවේ ක්‍රිස්ටියන් කොලමන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එම ඉසව්වට සහභාගී වීම හේතුවෙනි. කෙසේ වෙතත් 2019 වසරේ ලොව වේගවත්ම මිනිසා තමන් බවට නැවත වතාවක් සනාත කීරීමට අමෙරිකාවේ කෙටිදුර ධාවන ශූර ක්‍රිස්ටියන් කොලමන් සමත් විණි. ඒ, මීටර් 100 ධාවන තරග ඉසව්ව තත්පර 9 යි දශම 7 යි 6 ක කාලයකින් අවසන් කරමිනි. ක්‍රිස්ටියන් මීටර් 100 ධාවන ඉසව්ව සඳහා වාර්තා කළ හොඳම කාලය ලෙස ද එය වාර්තා අතරට එක් විය. එමෙන්ම ලොව මීටර් 100 ධාවන තරග ඉසව්ව සඳහා වාර්තා වූ හයවන ඉහළම දක්ෂතාව ද ලෙස එය වාර්තා අතරට එක්වීමට විශේෂත්වයකි. අමෙරිකානු තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය විසින් පනවා තිබූ තාවකාලික තරග තහනමට පසු කොලමන් සහභාගී වූ පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙයයි. වසරක කාලයක් තුළ තහනම් උත්තේජක පරීක්ෂණ 3 කට මුහුණ නොදීම හේතුවෙන් කොලමන්ට වසරක තරග තහනමක් පැනවීමට අමෙරිකානු තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය තීරණය කළ අතර අනතුරුව අන්තර්ජාතික තහනම් උතේතේජක නිවාරණ ඒජන්සිය විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව එම තහනම ඉවත් කළේ ය. 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමී මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම හිමිවූයේ අමෙරිකාවේම ජස්ටින් ගැට්ලින්ටයි. ඔහු තත්පර 9 යි දශම 8 යි 9 ක කාලයක් වාර්තා කළ අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩ්‍රි ගාස්ටයි. ජැමෙයිකාවේ යොහාන් බ්ලේකට හිමි වූයේ එම ඉසව්වේ පස්වන ස්ථානයයි.