ශ්‍රී ලංකා - පකිස්ථාන තරගය වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා - පකිස්ථාන පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමයි

by Staff writer 27-09-2019 | 5:51 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - පකිස්ථාන පළමු එක්දින ක්‍රිකට් තරගය අද අතහැර දැමීමට සිදු විය.

ඒ, තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි. මෙම තරගය කරච්චි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මෙම ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අවසන් වරට පැවැත්වුණේ මීට වසර 10කට පෙරය. තරගය සඳහා එක්වන ක්‍රීඩකයින් ඊයේ දිනයේදී පුහුණුවීම්වල නිරත විණි. 2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පැවැත්වෙන පළමු ප්‍රධානපෙළේ ක්‍රිකට් තරගාවලිය වන්නේ මෙයයි. දෙපිලේම ක්‍රීඩකයින් වෙනුවෙන් ඉහළ ආරක්ෂක රැකවල් යෙදීමට පකිස්ථාන රජය පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් ඊයේ දිනයේදී පුහුණුවීම්වල නිරත වූයේ එම ආරක්ෂක රැකවල් මධ්‍යයේ ය. කෙසේ නමුත් තරගය පැවැත්වෙන කරච්ච ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට අද උදෑසන සිට දැඩි වර්ෂාවක් ඇද හැළුණි. තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ හැකි වූයේ නැත. ඒ අනුව තරග තීරකවරයා තීරණය කළේ, තරගය අතහැර දැමීමටයි. තරගාවලියේ දෙවැනි තරගය කරච්චි ක්‍රීඩාංගණයේදීම අනින්දා පැවැත්වීමට නියමිත වේ. තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා පැවැත්වීමට නියමිතව තිබුන ද එය ලබන 30 වැනි දා කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කළ බවට පකිස්ථානයෙන් ලැබෙන වාර්තා පවසයි.