ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට ළඟා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට ළඟා වෙයි

by Staff writer 25-09-2019 | 9:18 AM

COLOMBO (News 1st ) - පකිස්ථාන තරග සංචාරය සඳහා ඊයේ උදෑසන දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලංකා එක්දින හා 20 යි 20 කණ්ඩායම පකිස්ථානයට ළඟා විය.

කරච්චි ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පකිස්ථානයට ළඟා වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිළිගැනීමට විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබිණි. ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 3ක් සහ පන්දුවාර 20යි 20 තරග 3ක් ඇතුළත් ය. 2009 වසරේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර කණ්ඩායමක් සති දෙකකට අධික කාලයක් පකිස්ථානයේ රැඳී සිටිමින් තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වේ. ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත සහා ලහිරු කුමාර ඇතුළත් ය. එක්දින සංචිතය හා සන්සන්දනය කරන විට 20යි 20 සංචිතයේ වෙනස්කම් 2ක් පමණක් සිදුව තිබේ. එක්දින සංචිතයේ නායක තිරිමාන්න 20යි 20 සංචිතයේ නොමැති අතර ඒ වෙනුවට තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති භානුක රාජපක්ෂ කණ්ඩායමට කැඳවා තිබේ. දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අනිද්දා ආරම්භ වීමට නියමිත ය.