හොංකොං ක්‍රීඩකයින් 2කුට ජීවිතාන්තය තෙක් තරග තහනමක්

හොංකොං ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා ICCයෙන් තරග තහනමක්

by Staff writer 27-08-2019 | 7:45 AM
(News 1st) - හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඩ් සහ නදීම් අහමඩ් යන ක්‍රීඩකයින් දෙදෙනායි. ඉර්ෆාන් අහමඩ් ක්‍රීඩකයා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ වගන්ති 9ක් සහ නදීම් අහමඩ් එම පනතේ වගන්ති 3ක් කඩ කර තිබේ. ඊට අමතරව හොංකොං කණ්ඩායමේ හසීබ් අම්ජාඩ් නම් ක්‍රීඩකයාට වසර 5ක තහනමක් ද පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. වසර දෙකක කාලයක් තුළදී තරග පාවා දීම හෝ පාවා දීමට සැලසුම් කිරීම සහ පාවා දීමට ලද යෝජනා සම්බන්ධයෙන් අනාවරණය කිරීමට අසමත් වීම යන චෝදනා ඔවුන්ට ප්‍රධාන වශයෙන් එල්ල වී තිබෙන බව සඳහන් ය. නදීම් අහමඩ් හොංකොං කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 25ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 24ක් ක්‍රීඩා කර තිබේ. නදීම් හොංකොං කණ්ඩායමට නායකත්වය ලබා දී තිබීම ද විශේෂත්වයකි.