දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්...

by Staff writer 26-08-2019 | 6:04 PM

News 1st - ශ්‍රී ලංකා සහ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 65 කින් ජය ගැනීමත් සමගයි. කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 244 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම අද 5 වැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 382 ක් රැස් කර ගෙන සිටියේ ය. කඩුලු 6 ක් දැවී ලකුණු 431 ක් රැස් කර ගෙන නවසීලන්ත කණ්ඩායම දිවා ආහාරයට පෙර සිය පළමු ඉනිම අත්හිටවා තිබේ. කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ලකුණු 83 කි. හත්වන ටෙස්ට් ශතකය වාර්තා කළ බී.ජේ. වොට්ලිං නොදැවී ලකුණු 105 ක් රැස් කළ අතර ටිම් සවුති නොදැවී ලකුණු 24 යි. පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුලු 3 ක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2 ක් දවා ගත්තේ ය. අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 32 කදී බිඳ වැටුණි. ලහිරු තිරිමාන්න, කුසල් ජනිත් පෙරේරාට සහ දිල්රුවන් පෙරේරාට කිසිදු ලකුණක් රැස් කර ගැනීමට හැකි වුණේ නැත. කුසල් මෙන්ඩිස් ලකුණු 20 කට දැවී ගිය අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 21 යි. හුදෙකලා සටහක නිරත වූ නිරෝෂන් දික්වැල්ල ටෙස්ට් පිටියේ 13 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 51 ක් රැස් කළේ ය. සුරංග ලක්මාල් ලකුණු 14 කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 122 ක් පමණි. ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති, අජාස් පටෙල් සහ විලියම් සමර්වීල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේ ය. අද තරග පරාජය සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා පසු බැස තිබේ.