කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාවට ලකුණු 59ක ජයක්

කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාවට ලකුණු 59ක ජයක්

by Staff writer 12-08-2019 | 2:27 PM
COLOMBO (News 1st) - තරග 3කින් සමන්විත ඉන්දීය - බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ඩක්වක් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 59ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගය ට්‍රිනිඩැඩ්හි ක්වින්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාත් කෝලී තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට ය. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 279ක් රැස් කළේ ය. රෝහිත් ශර්මා ලකුණු 18ක් රැස් කළ අතර රිශාබ් පාන්ට් රැස් කළ ලකුණු සංඛ්‍යාව 20කි. සිය එක්දින දිවියේ 42 වන ශතකය වාර්තා කළ නායක විරාත් කෝලි පන්දු 125කදී ලකුණු 120ක් රැස් කළේ 4 පහර 14ක් හා 6 පහරක් සමගිනි. එක්දින දිවියේ 3 වන අර්ධ ශතකය වාර්තා කළ ශ්‍රෙයාස් අයියර් ලකුණු 71ක් රැස් කළ අතර කේදර් ජාදෙව් ලකුණු 16ක් රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි රවීන්ද්‍ර ජඩේජා රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 16කි. පන්දු යැවීමේදී කාර්ලෝස් බ්‍රත්වෙයිට් කඩුලු 3ක් දවා ගත්තේ ය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 280ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 12යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 55ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. වර්ෂාව හේතුවෙන් තරගය නැවත ආරම්භ වීම ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයින්ට ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහනය සඳහා පන්දුවාර 46ක් අවසානයේ හිමි වූ ඉලක්කය ලකුණු 270කි. එම ඉලක්කය හඹා ගිය කොදෙව් ක්‍රීඩකයින්ට පන්දුවාර 42ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 210ක් පමණි. 300 වන එක්දින තරගයට සහභාගී වූ ක්‍රිස් ගේල්ට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 11ක් පමණි. ඒ අනුව ගේල් හිටපු සුපිරි කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා පසු කරමින් වැඩිම එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට හිමිකම් කී ක්‍රීඩකයාගේ වාර්තාව ද තමන් සතු කර ගත්තේ ය. එමෙන්ම කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම එක්දින ලකුණු ලාභියා වීමට ක්‍රිස් ගේල් සමත් වුණේ ජාත්‍යන්තර ලකුණු 10405ක් රැස් කර ගෙන සිටි බ්‍රයන් ලාරා ද පසු කරමින් වීම විශේෂත්වයකි. එක්දින දිවියේ 6 වන අර්ධ ශතකය වාර්තා කළ එවින් ලුවිස් ලකුණු 65ක් රැස් කළ අතර ශිම්රෝන් හෙට්මයර් ලකුණු 18ක් රැස් කළේ ය. නිකොලස් පූරන් ලකුණු 42ක් රැස් කළ අතර රොස්ටන් චේස් ලකුණු 18ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුලු 4ක් දවා ගත් අතර මොහොමඩ් ශාමි සහා කුල්දීප් යාදෙව් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.