හිටපු ඇමති සුමේධා ජයසේනට මොණරාගලදී 'හූ' සංග්‍රහයක්

by Staff writer 29-07-2019 | 10:31 PM

COLOMBO (News 1st) - මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද පැවැත්වූයේ ගොවි විරෝධතාවක් මධ්‍යයේයි.

සේනා දළඹු උවදුරෙන් සිදු වූ වගා හානි සඳහා වන්දි ලබාදීම ඇතුළු ලැබිය යුතු සහන කිසිවක් ලැබී නැතැයි පවසමින් ගොවීන් අද මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිවිසුම අවහිර කළහ. කාර්යාලය තුළ ඒ වනවිටත් පැවති සංවර්ධන කමිටු රැස්වීමට සිය ගැටලු ඉදිරිපත් කිරීමට පිරිස උත්සාහ කළත් ඊට අවස්ථාව ලැබුනේ නැත. රැස්වීම අවසන් වන තෙක් පැය තුනක පමණ කාලයක් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඔවුන් රැදී සිට ඇත. කමිටු රැස්වීම අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී.ජයසේන මහත්මිය විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානට පැමිණ තිබේ. මේ අතර තඹුත්තේගම මහවැලි නේවාසික කළමනාකාර කාර්යාලය ඉදිරිපිට ගොවීන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 6 වන දිනටත් පැවැත් විය. මහවැලි එච්. කලාපය සඳහා නිසි කලට ජලය ලබා නොදීම හේතුවෙන් සිදු වූ හානි පූර්ණය කරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහය පැවැත්වේ. විරෝධතාකරුවන් ඇතුළු ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් මහවැලි නේවාසික කළමනාකාරවරයා අද හමුවුවත් ගැටලුවලට විසඳුම් ලැබී නොමැත.