ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක ජයක්

එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක ජයක්

by Staff writer 29-07-2019 | 10:14 AM
COLOMBO (News 1st) : එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කළේ ය. ඔස්ට්‍රේලියා - එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ පැවැත්විණ. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 121කි. ටැමී බියුමවුන්ට් පන්දු 39කින් ලකුණු 43ක් රැස් කළේ ය. නායක හෙදර් නයිට් ලකුණු 17යි. ක්‍රීඩිකාවෝ 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දැවී ගියහ. ජෙස් ජොන්සන් ලකුණු 19ට කඩුලු 2ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවර 17යි පන්දු 5කදී කඩුලු 3ක් දැවී තරගය ජය ගත්තේ ය. ඇලීසා හීලි ලකුණු 20ක් රැස් කළ අතර නායක මෙග් ලැනින් ලකුණු 43ක් රැස් කළහ. ඇලිස් පේරී නොදැවී ලකුණු 47ක් රැස් කළේ ය. ඇය වාර්තා අතරට එක් වූයේ පන්දුවාර 20 යි 20 අංශයේ ලකුණු 1000 සීමාව පසු කළ සහ එම අංශයේ කඩුලු 100ක් දවා ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙසයි.