ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක දෙවන තරගය අද යි

වසර 4 කට පසු ශ්‍රී ලංකාවට මෙරටදී එක්දින තරගාවලියක් ජයගත හැකි වේවි ද?

by Staff writer 28-07-2019 | 9:21 AM

COLOMBO (News 1st) - තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වේ.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. අද තරගය යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් මාස 44 කට පසු මෙරටදී එක්දින තරගාවලියක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීම විශේෂත්වයකි. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී එක්දින තරගාවලියක් ජය ගත්තේ පසුගිය 2015 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. මේ අතර බංග්ලාදේශ කණ්ඩායම අද තරගය පරාජයට පත්වුවහොත් 2017 වසරෙන් පසුව ඔවුන් අඛණ්ඩව එක්දින තරග 4 ක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස එය වාර්තා අතරට එක්වේ. 1986 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික තරග 45 ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 38 ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබීම විශේෂත්වයකි. බංග්ලාදේශ කණ්ඩායම තරග 7 ක් ජයග්‍රහණය කර ඇති අතර ඊට අමතරව තව ත් තරග තුනක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබේ. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීම හේතුවෙන් ඔහු වෙනුවට අද දිනයේදී දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ වැඩි අවස්ථාවක් පවති. තවද ක්‍රිකට් විචාරකයින් පවසන්නේ, පළමු තරගය ක්‍රීඩා කළ තිසර පෙරේරා වෙනුවට ඉසුරු උදාන අද තරගය සඳහා කැඳවීමට වැඩි ඉඩක් පවතින බවයි. 2007 වසරට පසුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය පසුගිය 26 වන දා පැවැති අතර එම තරගය මෙන්ම අද දිනයේදී ද යම් හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහරදීම වඩාත් සුදුසු වේ. ශ්‍රී ලංකාව සහා බංග්ලාදේශය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද සවස 2.30 ට ආරම්භ වීමට නියමිතයි.