බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 28-07-2019 | 10:04 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කණ්ඩායම 2015 නොවැම්බර් මාසයට පසුව මෙරටදී පළමු වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය තහවුරු කර ගැනීමත් සමගයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ඔවුන් අද ජය ගත්තේ කඩුලු 7කිනි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 52කදී බිඳ වැටිණ. ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කර් ලකුණු 11කට දැවී ගිය අතර නායක තමීම් ඉක්බාල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 19ක් පමණි. මොහොමඩ් මහමුදුල්ලාහ් ලකුණු 6කට දැවී ගියේ අකිල ධනංජයගේ 50 වැනි එක්දින කඩුල්ල ලෙසයි. මෙහෙදි හසාන් ලකුණු 43ක් රැස් කළේ ය. එක්දින ලකුණු 6000 සීමාව අද පසු කළ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 98ක් රැස් කරගෙන සිටියේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 238කි. ඉසුරු උදාන, අකිල ධනංජය සහ නුවන් ප්‍රදීප් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය. නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළහ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබදතාව ලකුණු 71කි. දිමුත් ලකුණු 15කට දැවී ගියේ ය. 2 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 82යි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 30ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 3ක් දැවී සිටියදීයි.