සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් තහනමක්

දේශපාලන මැදිහත්වීම් නිසා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් තහනමක් පනවයි

by Staff writer 19-07-2019 | 6:17 AM
COLOMBO (News 1st): සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට හා එරට ක්‍රිකට් ආයතනයට වහාම ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහනමක් පනවා තිබේ. ඒ, අනුව සිම්බාබ්වේ කණ්ඩායමට මින් ඉදිරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ක්‍රිකට් තරග සඳහා සහභාගී විය නොහැකි අතර එරට ක්‍රිකට් බලධාරීන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කටයුතු සඳහා සම්බන්ධ වීම ද තහනම් වේ. එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුවේදී මෙම තීරණය ගෙන තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වහාම ක්‍රියාත්මකවන පරිදි මෙලෙස සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට තහනමක් පනවා තිබෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තුළ නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිලවරණයක් පැවැත්වීමට අසමත් වීම සහ ක‍්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙනි. ඒ, අනුව මෙම තහනමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පිරිනැමු ආධාර මින් ඉදිරියට අහිමි වනු ඇති. එමෙන්ම තහනමත් සමග එළැඹෙන 2020 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද සිම්බාබ්වේ කණ්ඩායමට අහිමි වීමේ අවදානමක් ද හටගෙන තිබේ. කෙසේ වෙතත් මෙම තහනම කොපමණ කළක් ක්‍රියාත්මක වන්නේදැයි අනාවරණ කර නොමැත. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා පවසන්නේ මෙවන් තහනමක් පැනවීම පහසු තත්ත්වයක් නොවුණ ද මෙම අවස්ථාවේ ගත හැකි හොඳම පියවර එය වූ බව ය. ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන අතපෙවීම් වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු වැඩි දුරට ත් සඳහන් කර තිබේ. සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පසුගිය වකවානුවේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කළ බව ත් , ඒ හේතුවෙන් මෙලෙස තහනමක් පැනවූ බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා වැඩි දුරට ත් සඳහන් කළේය.