Blue Mountain සභාපති News 1st වෙත කතා කරයි

Blue Mountain සභාපති News 1st වෙත කතා කරයි

by Staff writer 10-07-2019 | 8:51 AM
COLOMBO (News 1st) : Blue Mountain දේපළ වෙළඳ සමාගම විසින් එහි පාරිභෝගිකයින් පිරිසකට වංචා කරමින් සිටින බවට අප සිදුකළ අනාවරණයෙන් පසුව 50කට අධික පිරිසක් දුරකතනය ඔස්සේ අප ඇමතූහ. ඒ සියලු දෙනාම පවසා සිටියේ, තමන් අදාළ සමාගම විසින් වෙන්දේසි කළ ඉඩම් වෙනුවෙන් සම්පූර්ණයෙන් ගෙවීම් සිදු කර ඇතත් මෙතෙක් තම්ට හිමි ඔප්පු ලබා දී නොමැති බවයි. පිළියන්දල, බටකැත්තර පිහිටි ඉඩමකින් බිම් කැබලි මිලදී ගත් පිරිස ද ඒ අතර වෙති. මෙයින් බිම් කැබලි මිලදී ගත් බහුතර පිරිසක් එම කැබලි සඳහා සම්පූර්ණ ගෙවීම් සිදු කර ඇතත් මෙම මුළු ඉඩමම තවමත් උකස්කරයකට යටත්ව තිබේ. Blue Mountain සමාගම විසින් මෙම ඉඩම උකස් කර ඇත්තේ, වාණිජ බැංකුවක බොරැල්ල ශාඛාවෙයි. යක්කල ප්‍ර දේශයේ පිහිටි ඉඩමක් ද මෙම සමාගම වාණිජ බැංකුවකට උකස් කර ඇති අතර එම බැංකුව විසින් මෙම ඉඩම වෙන්දේසි කිරීම සඳහා දැන්වීම් කැඳවා තිබෙන්නේ, Blue Mountain සමාගම විසින් උකස බේරා ගැනීමට අසමත්ව තිබෙන බැවිනි. මෙම ඉඩමෙන් බිම් කැබලි මිල දී ගත් පිරිසක් ද සම්පූර්ණ ගෙවීම් සිදු කර ඇත්තේ, මීට මාස කිහිපයකට පෙරයි. ගෙවීම් සම්පූරණ කළ ද තවමත් තමන්ට ඔප්පු ලබා නොදීම හේතුවෙන් අදාළ සමාගමට එරෙහිව කිහිප දෙනෙකු පොලීසියට යාමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට එම සමාගමේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කෙරුණු දැනුම්දීම හමුවේ Blue Mountain සමාගමේ සභාපතිවරයා මේ වනවිට පොලීසිය මගහරිමින් සිටී. කෙසේ වෙතත් අද පස්වරුවේ දුරකතනය ඔස්සේ අප අමතමින් ඔහු අවධාරණය කර සිටියේ, 1500ක් පමණ වන තම ගනුදෙනුකරුවන් අතරින් 300 දෙනෙකු පමණ ඉඩම් වෙනුවෙන් සියලු ගෙවීම් කර ඇතත් ඊට අදාළ ඔප්පු නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි. එම සියලු දෙනාට ඔප්පු ලබාදීමට අදාළව තමන් ඉදිරියේදී තමන් විසින් කොළඹ වාණිජ මහාධිකරණය වෙත එකඟතා සැලැස්මක් ඉදිරිපත් කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. https://www.youtube.com/watch?v=Ead8BnvnCQM