වර්ෂාව හේතුවෙන් කල් දැමූ තරගයේ ජය කාට ද?

වර්ෂාව හේතුවෙන් කල් දැමූ තරගයේ ජය කාට ද?

by Staff writer 10-07-2019 | 8:57 AM
COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය දෙවන දිනටත් අද පැවැත්වේ. ඊයේ දිනයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය නතර කළ පන්දුවාරයේ සිට මෙලෙස අද නැවත තරගය පැවැත්වේ. තරගය මැන්චෙසට්ර්හි ඕල්ට් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව නවසීලන්ත ඉණිම අරඹමින් මාටින් ගප්ටිල් සහා හෙන්රින් නිකොල්ස් පිටියට පිවිසි අතර ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා අවස්ථාව ලබා නොදුන්හ. මාටින් ගප්ටිල් එක් ලකුණකට දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි නායක කේන් විලියම්සන් සහා හෙන්රි නිකොල්ස් නවසීලන්ත ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 68 කි. හෙන්රි නිකොල්ස් ලකුණු 28 ක් රැස් කළේ ය. නවසීලන්ත ඉණිමේ සිව්වන පිතිකරු ලෙස පිටියට පිවිසි රෝස් ටේලර් සමග එක්වූ කේන් විලියම්සන් නවසීලන්ත ඉණිමේ තුන්වන කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගී ය. සිය එක්දිනි දිවියේ 39 වන අර්ධ ශතකය වාර්තා කළ කේන් විලියම්සන් ලකුණු 67 ක් රැස් කළේ ය. ජේම්ස් නිශම් ලකුණු 12 කට දැවී ගිය අතර කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් ලකුණු 16 කට දැවී ගියේ ය. නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. පැවති තත්ත්වය හමුවේ විනිසුරුවන් වර්ෂාවෙන් පසුව පිටිය පරීක්ෂා කිරීමට පිවිසේ පැය තුනකටත් අධික කාලයකට පසුවයි. ක්‍රීඩාංගණ සේවකයන්ගේ සහයෝගය කෙතෙක් ලැබූව ද තරගය ආරම්භ කිරීමට තරම් තත්ත්වයක් පිටියේ නොවීම හේතුවෙන් තරගය අද දිනයට කල් දැමීමට විනිසුරුවරු තීරණය කළහ. තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට ඉන්දීයාව වෙනුවෙන් පන්දු යැවූ බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, හර්දික් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා සහ යුස්වෙන්ද්‍ර වාහල් කඩුල්ල බැගින් ලබා ගත්හ. මෙතෙක් තරගයේ පන්දුවාර ප්‍රමාණය අඩු කිරීමට මෙතෙක් තීරණය කර නොමැති අතර, අද දිනයේ පවතින කාලගුණ තත්ත්වය අනුව නියමිත පන්දුවාර 50 ම ක්‍රීඩා කළ හැකි වනු ඇත්ද යන්න තීරණය කිරීමට නියමිතයි. තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් ඉන්දීය කණ්ඩායම අවම වශයෙන් පන්දුවාර 20ක් ක්‍රීඩා කළ යුතු වේ. එසේ නොමැතිව අද දිනයේ දී ද තරගය නිසි ලෙස පැවැත්වීමට නොහැකි වුවහොත්, මෙම තරගයේ ජය හිමිවන්නේ ඉන්දීය කණ්ඩායමටයි. ඒ, මූලික වටයේ දී ඔවුන් නවසීලන්තයට වඩා ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් පසුවීම හේතුවෙනි.