නවසීලන්තය අවසන් පූර්ව වටයට යයි ද?

ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 4 ක් අද පිටියට

by Staff writer 29-06-2019 | 1:21 PM

(News 1st) - 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තව ත් තරග දෙකක් අද පැවැත් වේ.

ඒ, ඇෆ්ගනිස්ථාන - පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි. මෙවර තරගාවලියේ 36 වන තරගය ලෙස පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වේ. පසුගිය 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන තරගයකදී තවමත් පකිස්ථානයට එරෙහිව තරග වැදී නොමැත. අවසන් වසර 5 තුළ මෙම කණ්ඩායම් දෙක ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවති තරගවලදී අවස්ථාවන් 2 ක තරග කර තිබේ. එම තරග දෙකම ජය ගත්තේ පකිස්ථානයයි. මෙවර තරගාවලියේ 37 වන තරගය ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත් වේ. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 10 ක දී එකිනෙකා හමුවී ඇති අතර එහිදී ඕස්ට්‍රේලියානුවන් තරග 7 ක් ජයග්‍රහණය කරන විට නවසීලන්තය ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 3 ක් පමණි යි. මුල්මවරට මෙම කණ්ඩායම් දෙක තරග කළේ, 1987 ලෝක කුසලාන තරගාවලියේදීයි. අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එක්දින තරගාවලියකදී හමුවුණේ 2017 වසරේදී වන අතර එවර තරගාවලිය 2 ට 0ක් ලෙසින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේ ය. මෙම තරගය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ හොත් ඔවුන් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර අද තරගය ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වසර 20 තුළ ලෝඩ්ස් පිටියේදී ක්‍රීඩාකළ එක්දින තරග 12 න් පරාජය වී තිබෙන්නේ එක් තරගයක් පමණක් වන අතර එසේම නවසීලන්ත කණ්ඩායමත් මෙම පිටියේදී සහභාගි වුණු තරග 3 ම ජයග්‍රහණය කිරීමෙන් පෙනීයන්නේ ලෝඩ්ස් පිටිය කණ්ඩායම් දෙකටම සුබදායී එකක් බව යි.