අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව රාජකීයයන්ට

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට

by Staff writer 29-06-2019 | 9:17 PM
COLOMBO (News 1st) - කොළඹ රාජකීය විද්‍යාලය, අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අද හිමි කර ගත්තේ ය. ඔවුන් අඛණ්ඩව එය හිමි කර ගත් 3 වන අවස්ථාව මෙයයි. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. එහි කුසලාන තරග වටයේ අවසන් සතිය වූ අද, රාජකීය විද්‍යාලය සමග තරග වැදුණේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයයි. තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී ලකුණු 14ට 10ක් ලෙස පෙරමුණ ගත්තේ රාජකීය ක්‍රීඩකයින් ය. දෙවැනි අර්ධයේදී ඔවුහු තවත් ලකුණු 10ක් හිමි කර ගත්හ. ශාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට එම අර්ධයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 7ක් පමණි. ඒ අනුව ලකුණු 24ට 17ක් ලෙස රාජකීය ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය. නිමාවට පත් වූ ශාන්ත ජෝසප් - රාජකීය තරගය තීරණාත්මක තරගයක් වූයේ, එම තරගයේ ජයග්‍රහණය සමගින් මෙවර ලීග් තරගාවලියේ ශුරයින් තීරණය වීම නිසා ය. රාජකීය ක්‍රීඩකයින් ජය ගැනීමට නම් මෙම තරගයේදී උත්සාහක දිනුම් 4ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කළ යුතුව තිබිණි. ඒ ආකාරයෙන්ම උත්සාහක දිනුම් 4ක් වාර්තා කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.