දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි

by Staff writer 28-06-2019 | 10:41 PM
COLOMBO (News 1st) - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 9කින් ජය ගත්තේ ය. එංගලන්තයේ චෙස්ටර්-ලී-ස්ට්‍රීට්හිදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ඉලක්කයක් කරා හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 37 යි පන්දු 2 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජතින් පෙරේරායි. දිමුත්ට ලකුණු රැස් කිරීමට නොහැකි විය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 30කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා රැස් කළේ ද ලකුණු 30ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11කට දැවී ගියේ ය. කුසල් මෙන්ඩිස් ලකුණු 23ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 24කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 203කි. ලකුණු 204ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ක්වයින්ටන් ඩී කොක් ලකුණු 15කට දැවී ගියේ ය. හෂීම් අම්ලා 39 වන අර්ධ ශතකය අද වාර්තා කළ අතර නායක ෆෆ් ඩූ ප්ලෙසිස් අද වාර්තා කළේ 35 වන අර්ධ ශතකයයි.