ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් පූර්ව සටනට

එංගලන්තය පැරදූ ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් පූර්ව සටනට

by Staff writer 26-06-2019 | 11:10 AM
COLOMBO (News 1st) - මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ පළමු කණ්ඩායම බවට පත් වීමට ඒරන් ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඒ, 12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් වෙතැයි බොහෝ දෙනෙකු අනුමාන කරන එංගලන්ත කණ්ඩායම ලකුණු 64කින් එංගලන්තයේ ක්‍රිකට් රන් දෙවොලේදීම පරාජය කරමිනි. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගය වූ මෙම තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන එංගලන්තයේ ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් ය. ඔවුන් දෙදෙනා ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 123ක සබඳතාවක් ගොඩනැගූ අතර ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 53ක් රැස් කර ගෙන සිටි ඩේවිඩ් වෝනර් දැවී ගියේ ය. අනතුරුව උස්මන් කවාජා ලකුණු 23කට දැවී ගිය අතර සිය එක්දින දිවියේ 15 වන ශතකය සහා මෙවර ලෝක කුසලානයේ තමන් වාර්තා කළ දෙවන ශතකයට හිමිකම් කියූ නායක ඒරන් ෆින්ච් රැස් කළ ලකුණු සංඛ්‍යාව 100කි. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 12ක් රැස් කළ අතර ස්ටීව් ස්මිත් ලකුණු 38ක් රැස් කළේ ය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 285කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇලෙක්ස් කේරි ලකුණු 38ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් කඩුලු 2ක් දවා ගත්තේ ය. අනතුරුව ලකුණු 286ක ඉලක්කයක් කරා හඹා ගිය එංගලන්ත ඉනිමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 53ක් තුළ දවා ගනිමින් එංගලන්ත ඉනිම අඩපණ කිරීමට ඔස්ට්‍රේලියානු ආරම්භක වේග පන්දු යවන්නන් වූ ජේසන් බෙහෙරෙන්ඩොෆ් සහ මිචෙල් ස්ටාර්ක් සමත් වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් එංගලන්ත ඉනිම ගොඩනැගීමට ජෝස් බට්ලර් සහ බෙන් ස්ටොක්ස් ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගූ අතර ජෝස් බට්ලර් ලකුණු 25කට දැවී යාමෙන් එම සබඳතාව බිඳ වැටිණි. බෙන් ස්ටොක්ස් ලකුණු 89ක් රැස් කළ අතර ක්‍රිස් වොක්ස් ලකුණු 26ක් සහ ආදිල් රශීඩ් ලකුණු 25ක් රැස් කළහ. එංගලන්ත ක්‍රීඩකයින්ට පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ සියලු කඩුලු දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 221ක් පමණි. පන්දු යැවීමේදී ජේසන් බෙහෙරෙන්ඩොෆ් ලකුණු 44ට කඩුලු 5ක් දවා ගත් අතර මිචෙල් ස්ටාක් ලකුණු 43ට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඒ අනුව එම ජයග්‍රහණයත් සමගින් තමන් සහභාගී වූ තරග 7න් තරග 6ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12ක් හිමි කර ගැනීමට සමත් වූ ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.