දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

by Staff writer 24-06-2019 | 7:30 AM
COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ දකුණු අප්‍රිකාවත් සමග පැවති තරගය ලකුණූ 49 කින් ජය ගනිමිනි. ඒ අනුව දකුණූ අප්‍රිකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථා මුළුමනින්ම ඇහිරී ගියේ ය. ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් පාකිස්ථාන කන්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛයාව 308කි. ආරම්භක පිතිකරුවන් වන ඉමාම් උල් හක් සහා ෆකාර් සමාන් පාකිස්ථාන ඉණිමේ පළමු කඩුල්ලට ලකුණූ 81 ක සබඳතාවක් ගොඩනැගූහ. ෆකාර් සමාන් සහා ඉමාම් උල් හක් ලකුණූ 44 බැගින් රැස් කළහ. මොහොමඩ් හෆීස් ලකුණු 20 ක් රැස් කළ අතර අනතුරුව පිටියට පිවිසි හාරිස් සොහෙයිල් සහා බාබර් අසාම් පාකිස්ථාන ඉණිමේ සිව්වන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 81 කි. බාබර් අසාම් ලකුණු 69 ක් රැස් කළ අතර ඉමාඩ් වසීම් ලකුණු 23 ක් රැස් කළහ. හාරිස් සොහෙයිල් ලකුණූ 89 ක් රැස් කළේ, පන්දු 59 කදීයි. පන්දු යැවීමේදී ලුන්ගි න්ගිඩි කඩුලු 3 ක් දවා ගත් අතර ඉම්රාන් ටහීර් කඩුලු 2 ක් දවා ගත්හ. ඉම්රාන් ටහීර් මෙම තරගයේදී වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දකුනු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙසයි. තහීර් මේ වන විට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගවලදී කඩුලු 39ක් දවාගෙන සිටී. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගත නොහැකි වූයේ තරගාවලිය පුරා ලකුණු අතර සිටීමට අපොහොසත් වූ හෂීම් අම්ලා මෙම තරගයේ දී ද එක් ලකුණකට දවා ගැනීමත් සමගයි. ඉන්පසු ක්වින්ටන් ඩි කොක් හා නායක ෆෆ් ඩු ප්ලෙසි දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක් එක් කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට යම් ජයග්‍රාහී බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් වුවද ශාදාබ් කාන් විසින් ඩි කොක් ලකුණු 47කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 7කටත් පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේ යළි තරගය පාකිස්තාන කණ්ඩායම වෙත යොමු කර ගනිමිනි. දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 136ක් වන විට නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 63කට මොහොමඩ් අමීර් හමුවේ දැවී ගියේ ය. කෙසේ නමුත් අනතුරුව වෑන් ඩර් ඩසන් හා ඩේවිඩ් මිලර් යළි තරගයට අවතීර්ණ වීමට උත්සහ කළ ද, වෑන් ඩර් ඩසන් ලකුණූ 36 කට සහා මිලර් ලකුණූ 31 කට දවා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. අනතුරුව පිටියට පිවිසි ඇන්ඩිල් ෆෙලුක්වායෝ එක් අන්තයක හුදකලා වෙමින් නොදැවී ලකුණු 46ක් වාර්තා කරන විට, අගපෙළ පිතිකරුවන් පාකිස්තානු පන්දු යවන්නන්ගේ ගොදුරු බවට පත් වූයේ තරගයේ ජයග්‍රහණය පාකිස්ථානය සතුකර දෙමිනි. කෙසේ වෙතත් අවසානයේ දකුණූ අප්‍රිකාවට නියමිත පන්දුවාර 50 නිමා වන විට කඩුලු 9ක් රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 259 ක් පමණි. පන්දු යැවීමේ දී වාහබ් රියාස් හා ශාඩාබ් කාන් කඩුලු 3 බැගින් ලබා ගත් අතර මොහොමඩ් අමීර් කඩුලු 2ක් දවා ගත්හ. දකුණූ අප්‍රිකාව ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් වූ ඉතිහාසයේ දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2003 වසරේදී ඔවුන් ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් විය.