කොදෙව්වන්ට එරෙහිව නවසීලන්තයට තියුණු ජයක්

කාලොස් බ්‍රැත්වේට්ගේ හුදකලා සටන නවසීලන්තය උදුරා ගනී

by Staff writer 23-06-2019 | 11:58 AM

News 1st - ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 29 වන තරගය නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්විය.

එම තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. එංගලන්තයේ, මැන්චෙස්ටර්හීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබා ගත්තේ ය. නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 148 ක් ලබා ගත්තේය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 286 ක් පමණි. ක්‍රිස් ගේල් ලකුණු 87කට දැවී ගියේය. හුදකලා සටනක නිරත ⁣වෙමින් කොදෙව්වන් ජයග්‍රහණය කරා රැගෙන යාමට කාලෝස් බ්‍රැත්වේට් දැඩි උත්සාහයක නිරත විය. ලකුණු 211කට කඩුලු 8 ක් බිඳ වැටී කොදෙව්වන් ඉතා අසීරු තත්ත්වයකට පත් ව සිටි මොහොතක බ්‍රැත්වේට් සිය වගකීම කරට ගෙන පන්දුවට පහර දුන්නේය. අනතුරුව ලකුණු 245දී කොදෙව් 9වෙනි කඩුල්ල දැවී ගියේ ය. නමුත් සිය සටන අත් නොහැරී බ්‍රැත්වේට් 48 වෙනි පන්දු වාරය ක්‍රියාත්මක කළ නවසීලන්තයයේ මැට් හෙන්රිට එරෙහිව ලකුණු 25 ක් ලබා ගත්තේය. එම පන්දු වාරයේ 2,3 සහ 4 වෙනි පන්දුවලදී පිට පිට හයේ පහර 3ක් ද බ්‍රැත්වේට් විසින් එල්ල කරනු ලැබිණ. එහිදී කාලෝස් බ්‍රැත්වේට් සිය මංගල එක්දින ශතකය පන්දු 80කදී ලබා ගැනීමට සමත් විය. නමුත් ඔහුගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් 49වෙනි පන්දු වාරය අවසානයේ ලකුණු 101ක⁣ට බ්‍රැත්වේට් දැවී ගියේ කොදෙව්වන්ට ලකුණු 5ක පරාජයක් අත්කර දෙමිනි. ඒ, අනුව කොදෙව් ඉනිම ලකුණු 286 කට සීමා විය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය යළිත් වරක් ප්‍රගුණ කරමින් තරගයේ පරාජයෙන් පසු කම්පාවට පත් කාලෝස් බ්‍රැත්වේට් ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්ස් විසින් සනසන අයුරු දැකගත හැකිවිය. එය මේ වනවිට ලොවපුරා කාගේත් කතාබහට ලක්වන සිදුවීමක් වී තිබේ.