ලෝක කුසලානයේදී එංගලන්තයෙන් වාර්තා රැසක්

ලෝක කුසලානයේදී එංගලන්තයෙන් වාර්තා රැසක්

by Staff writer 19-06-2019 | 2:06 PM
COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු 150ක පහසු ජයක් හිමි කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් එංගලන්ත කණ්ඩායම ඉහළ දළ ලකුණු වේගයක් පවත්වා ගනිමින් මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වීම විශේෂත්වයකි. මැන්චෙස්ටර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුහු නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 397ක් රැස් කළහ. එය වාර්තා අතරට එක්වුණේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ය. එමෙන් ම තරගය පැවැත්වූ මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද එය වාර්තා අතරට එක්විණි. එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 26ක් රැස් කර ගෙන සිටි ජේම්ස් වින්ස් දැවී ගියේ ය. අනතුරුව පිටියට පිවිසි ජෝ රූට් සහ ජොනි බෙයාස්ටෝ එංගලන්ත ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 120කි. ජොනි බෙයාස්ටෝ ලකුණු 90ක් රැස් කළේ ය. අනතුරුව පිටියට පිවිසි නායක ඔයින් මෝගන් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර එල්ල කිරීමට වූයේ කිසිදු පන්දු යවන්නෙකු මායිම් නොකරමිනි. ඔහු තම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ සිය 13වන ශතකය ද වාර්තා කරමින් පන්දු 71ක් තුළ ලකුණු 148ක් වාර්තා කළ අතර පන්දු 57කින් වාර්තා වූ ඔහුගේ ශතකය ලෝක කුසලාන තරගයක සිව් වන වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක් විය. එමෙන් ම මෝගන්ගේ ඉනිමට 6 පහර 17ක් ඇතුළත් වූ අතර එය එක්දින ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම 6 පහර සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්වීම විශේෂත්වයකි. මෝගන් වෙත අනගි සහයක් ලබා දුන් ජෝ රූට් ලකුණු 88ක් රැස් කළ අතර මෝගන් සහා ජෝ රූට් එංගලන්ත ඉනිමේ 3 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 189ක සබඳතාව වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන තරගයකදී එංගලන්ත කණ්ඩායමේ වාර්තා වූ හොඳම සබඳතාව ලෙස ය. මොයින් අලී නොදැවී ලකුණු 31ක් රැස් කළේ පන්දු 9කදී ය. පන්දු යැවීමේදී නායක ගුල්බඩින් නයිබ් සහ දවාලට් සඩ්රාන් කඩුලු 3 බැගින් දවා ගත්හ. එමෙන් ම සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් කාන් යැවූ පන්දුවාර 9 තුළදී ලකුණු 110ක් ලබා දීම කැපී පෙනුණු අතර එය වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන තරගයක පන්දු යවන්නෙකු ලබා දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ය. මේ අතර රශීඩ් ඛාන්ට මෙම තරගයේදී 6 පහර 11ක් වාර්තා වුණු අතර ලෝක කුසලාන තරගයකදී වැඩිම 6 පහර ප්‍රමාණයක් එල්ල වුණු පන්දු යවන්නා ලෙස ද ඔහු වාර්තා අතරට එක් විය. අනතුරුව ලකුණු 398ක අති දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 4ක්ව තිබියදී බිඳ වැටුණේ නූර් අලි සඩ්රාන් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ජොෆ්රා ආචර් සමත් වීමත් සමගිනි. හස්මටුල්ලා ෂහීඩි ලකුණු 76ක් ලබා ගත් අතර හිටපු නායක අස්ගර් ඇෆ්ගන් ලකුණු 44ක් සහ රහමට් ෂා ලකුණු 46ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළහ. නියමිත පන්දුවාර 50 නිමා වන විට ඇෆ්ගනිස්ථානයට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 247ක් පමණි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ආදිල් රෂීඩ් සහ ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින් දවා ගත් අතර මාක් වුඩ් කඩුලු 2ක් බිඳ හෙළූහ.