ලෝක කුසලානයේ පෙරමුණ තවදුරටත් නවසීලන්තයට

නවසීලන්තය ලෝක කුසලානයේ තවදුරටත් පෙරමුණ තහවුරු කර ගනී

by Staff writer 09-06-2019 | 9:21 AM

COLOMBO (News 1st) - ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගයෙන් ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් හමුවේ කඩලු 7කින් පරාජයට පත් වූයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.

ටොවුන්ටන් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 41 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 172 ක් රැස් කළේ ය. හෂ්මටුල්ලා ශහීඩී ලකුණු 59 ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී ජේම්ස් නීෂම් කඩුලු 5ක් බිඳ හෙළුවේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 107ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ, කඩුලු 3 ක් දැවී සිටියදීයි. නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 79 ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී අෆ්ටාබ් අලාම් කඩුලු 3ක් බිඳ හෙළුවේ ය. මෙය නවසීලන්තය මෙවර තරගාවලියේ ලැබූ තෙවැනි ජයග්‍රහණය වන අතර ඔවුන් මේ වන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ. මේ අතර 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 106 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. කාඩිෆ්හිදීයි පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක මශ්රාෆි මොටාසා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 386 කි. එංගලන්ත කණ්ඩායම මේ වන විට අඛණ්ඩව තරග 7 කදී ලකුණු 300 සීමාව පසු කර ඇති අතර එවැනි දස්කමක් දැක් වූ ලොව පළමු කණ්ඩායම එංගලන්තයයි. එංගලන්ත ඉනිම ශක්තිමත් කළ ජේසන් රෝයි ලකුණු 153 ක් රැස් කළ අතර එය ඔහුගේ පළමු ලෝක කුසලාන ශතකය මෙන්ම එංගලන්ත පිතිකරුවෙකු ලෝක කුසලාන තරගයකදී වාර්තා කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ. ජොස් බට්ලර් ලකුණු 64 ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී මෙහිදී හසන් ලකුණු 67කට කඩුලු 2ක් බිඳ හෙළුවේය. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 48 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 280 ක් පමණි. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශකිබ් අල් හසාන් ලකුණු 121 ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් කඩුලු 3ක් බිඳ හෙළුවේ ය.