වරකාපොල හිටපු සභාපති පතිරාජට ජනපති පොදු සමාව

6 වසරක සිර දඬුවමක් නියමව සිටි වරකාපොල හිටපු සභාපතිට ජනපති පොදු සමාව

by Staff writer 07-06-2019 | 6:51 PM
COLOMBO (News 1st) : රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 3 කට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් වසර 6 ක සිර දඬුවම් හා රුපියල් 40,000ක දඩයක් නියම කර තිබූ වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ නමැත්තාගේ එකී දඬුවම් නියෝගය ජනාධිපතිවරයා විසින් නිශ්ප්‍රභ කර පොදු සමාවක් ලබා දී ඇති බව එම විත්තිකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේදී අද දැනුම් දෙනු ලැබී ය. 1995 වසරේදී වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම බල ප්‍රදේශයේ පිහිටි මාර්ග තුනක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් අනුමත කර දීමට එම අල්ලස් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 5 ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් නඩු පවරා තිබිණ. නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරු අධි චෝදනා තුනකට වරදකරු කර කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් 2009 වසරේදී වසර 6 ක සිර දඬුවමක් නියම කර තිබිණ. එම සිර දඬුවමට අමතරව රුපියල් හතළිස් දහසක දඩයක් ද විත්තිකරුට නියම කර තිබූ අතර එම දඬුවම් නියෝගයට එරෙහිව ඔහු ගොනු කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය මහාධිකරණයේ තීන්දුව ස්ථිර කර තීන්දුවක් ලබාදී තිබිණ. අභියාචනාධිකරණයේ එම තීන්දුව විත්තිකරුට මහාධිකරණය හමුවේ කියවා දීමට නියමිතව තිබියදී ඔහුට ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (ඇ) වගන්තිය ප්‍රකාරව පොදු සමාවක් ලබාදී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයකු විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබ තිබේ.