වාස්ගෙන් නවකයින්ට උපදෙසක්..

"රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න, වැරැද්දට හේතු කියන්න එපා..!"

by Sagarika Chathumali 30-04-2019 | 11:56 AM
COLOMBO (News 1st) : කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තිබේ නම්, පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව හිටපු  ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පවසයි.
"ශ්‍රී ලංකාව පෙරළිකාර කණ්ඩායමක් ඔවුන් එකමුතු විය යුතුයි, ඔවුන් විශේෂ ක්‍රීඩකයෝ සහ ඔවුන්ට එංගලන්තයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඔවුන්ට කණ්ඩායම් හැඟීම තියෙනවා නම්, එකමුතුකම තියෙනවා නම්, මම හිතනවා ශ්‍රී ලංකාව ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරයි කියලා"
මෙරට බිහිවූ විශිෂ්ටතම වමත් වේග පන්දු යවන්නා වන චමින්ද වාස් මේ බව පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සාර්ථකත්වය පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් යොවුන් වේග පන්දු යවනන්න් පිළිබඳව ද වාස් මෙහිදී සිය අදහස් පළ කර තිබේ. එහිදී ඔහු නවක ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා ඇත්තේ, ක්‍රීඩාවේදී කෙටි මාර්ග නොසොයා රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙසයි. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයින් කළ යුත්තේ, නිදහසට කරුණු කීම නොව ප්‍රේක්ෂක දෝෂාරෝපනයන් ද ධනාත්මක ලෙස ගෙන ඉදිරිය සකසා ගැනීම බව ද ඔහු සිය අදහස් දැක්වීමේදී විශේෂයෙන් සඳහන් කර තිබේ.
"මම මේ ක්‍රීඩාවට ආදරෙයි, මම මගේ ජීවිතේ ගොඩක් කාලයක් ගත කළේ, මේ ක්‍රීඩාව වෙනුවෙන්. මට මේ දේ ගැන දැනුම යොවුන් ක්‍රීඩකයින්ට ලබා දෙන්න පුළුවන්. මම වසර 20ක් ක්‍රීඩා කළා. සහ පුහුණුකරුවෙකු ලෙස මම ක්‍රීඩාව තුළින් විනෝදයක් ලැබුවා. මම යොවුන් වේග පන්දු යවන්නන්ට කියන්නේ 100%ක් දෙන්න, කෙටි මාර්ග සොයන්න එපා, මීළඟ තරගයට කිසි දෙයක් ඉතිරි කරන්න එපා, මේ තරගයේ දී සියල්ල ඉවර කරන්න, ඔබේ ශාරීරික සෞඛ්‍ය හොඳින් තබා ගන්න, ඔබේ රට වෙනුවෙන් ඒ දේ කරන්න, ඔබ පැමිණියේ කොහෙන්ද කියලා මතක තබා ගන්න, වැරැද්දට හේතු කියන්න එපා, මිනිස්සු ඔබට බණින විට ඒ දෙය හොඳ පැත්තට ගන්න"
පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවල සාර්ථකත්වය යොවුන් කණ්ඩායමට මෙවර මහත් ශක්තියක් වන බව වාස් පවසා සිටි අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති බවයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 322කට ක්‍රීඩා කර ඇති චමින්ද වාස් කඩුලු 400ක් දවාගෙන සිටින අතර වාස් මේ වන විට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.