බස්නාහිර පළාත් සභාවේ නිල කාලයත් හෙටින් අවසන්

බස්නාහිර පළාත් සභාවේ නිල කාලයත් හෙටින් අවසන්

by Staff writer 20-04-2019 | 9:16 PM
COLOMBO (News 1st) - බස්නාහිර පළාත් සභාවේ නිල කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත ය. බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමග එම පළාත් සභාවේත් පාලනය ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇති. එම පළාත් සභාවේ නිල කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමග මේ වන විට නිල කාලය අවසන් වී ආණ්ඩුකාරවරුන් යටතේ ඇති මුළු පළාත් සභා ගණන 8කි. නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව යන පළාත් සභා 2017 වසරේදී අවසන් වූ අතර මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ය. දකුණු පළාත් සභාවේ නිල කාලය පසුගිය 10 වන දායින් අවසන් විය. ඉතිරිව ඇත්තේ ඌව පළාත් සභාව පමණක් වන අතර එහි නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත ය.