එළවළු මිල ගණන් පහළ බසී

දඹුල්ලේ එළවළු මිල ගණන් පහළ බසී

by Staff writer 11-04-2019 | 6:46 AM
COLOMBO (News 1st) : දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ඊයේ පස්වරුව වන විට විශාල ලෙස පහත වැටී තිබේ. ඊට හේතුවූයේ ගොවීන් විශාල වශයෙන් අස්වනු තොග රැගෙන ඒමයි. ඒ හේතුවෙන් ගොවි නිෂ්පාදනවලට සාපේක්ෂව මිලදී ගැනීම් අඩුවීමත් සමග එම තත්ත්වය උද්ගත වූ බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පැවසී ය. ඒ අනුව ඊයේ උදෑසන රුපියල් 150 ත් 200 ත් අතර මිලකට අලෙවි වූ අමු මිරිස් කිලෝවක්, පස්වරුව වන විට අලෙවි වී ඇත්තේ රුපියල් 60 ත් 70 ත් අතර මිලකටයි. රුපියල් 35 ත් 40 ත් අතර මිලකට අලෙවි වූ ගෝවා කිලෝවක් පස්වරුව වන විට රුපියල් 15 ක් දක්වාත්, රුපියල් 120 ත් 130 ත් අතර මිලකට අලෙවි වූ මාළු මිරිස් කිලෝවක් රුපියල් 90 ක් දක්වාත් පහළ ගොස් තිබේ. ලීක්ස් කිලෝග්‍රෑමයක් අලෙවි වී ඇත්තේ රුපියල් 35 ත් 40 ත් අතර මිලකටයි. රුපියල් 80 ක මිලට අලෙවි වූ කැරට් කිලෝවක් ඊයේ පස්වරුව වන විට රුපියල් 55 ත් 60 ත් අතර මිලක් දක්වාත් පහළ ගොස් තිබිණ.