ද. කොරියාව සමග කරට කර සිටි ශ්‍රී ලංකාවට මොකද වුණේ?

1960දී දකුණු කොරියාව සමග කරට කර සිටි ශ්‍රී ලංකාවට මොකද වුණේ?

by Staff writer 06-04-2019 | 8:13 PM
COLOMBO (News 1st) - මෙරට පාලකයින් දූෂණ වංචා පිළිබඳව නම් දරන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරද්දී, ශ්‍රී ලංකාව හා සම සමව සිටි සෙසු රාජ්‍යයන් ලොව ජය කෙහෙළි නංවමින් සිටියි. නොඑසේ නම්, ලෝකය අප අතහැර ඉදිරියට ගමන් කරමින් සිටියි. මේ ඊට එක් සාක්ෂියක්. 1960 වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් 142.2ක් වන විට දකුණු කොරියාවේ එම අගය සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 158.2ක් ලෙසයි. ඒ අනුව 1960 වන විට දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස ඉතා සුළු අගයකි. 2000 වසර වන විට දකුණු කොරියාව එම අගය අමෙරිකානු ඩොලර් 11947 දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවේ ඒ වන විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 870ක් ලෙසයි. 2017 වන විට එම පරතරය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු කොරියාව සිය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් 29742 දක්වා වර්ධනය කර ගනිද්දී, ශ්‍රී ලංකාවට එම අගය වර්ධනය කර ගත හැකි වූයේ අමෙරිකානු ඩොලර් 4065.2ක් දක්වා පමණි. ඒ අනුව 1960 වන විට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ දර්ශක අනුව දකුණු කොරියාව සමග කරට කර සිටි ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය අද වන විට එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් 7න් 1කි. වසර 60ක ආසන්න කාලයක් තුළ දකුණු කොරියාව ලොව පෙරට යන්නටත් ශ්‍රී ලංකාව දිනෙන් දින ආපස්සට ගමන් කිරීමටත් හේතු වූ කරුණු මොනවා ද? ඔවුන් නීතියේ ආධිපත්‍ය තහවුරු කර ගනිමින් දූෂණ වංචා පිටු දැකීම හා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම ඊට හේතුවයි. මෙරට පාලකයින් ඒ වෙනුවට සිදු කර ඇත්තේ, තමන්ටම ආවේණික ආකාරයේ දූෂණ වංචා සිදු කිරීම හා නීතියේ ආධිපත්‍ය දිනෙන් දින බිඳ හෙළීම හා ජනතාව රැවටීම පමණි.