මන්නාරම සමූහ මිනී වළේ කැණීම් යළි ඇරඹීමට සාකච්ඡා

මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු යළි ඇරඹීමට සාකච්ඡා

by Staff writer 22-03-2019 | 6:54 AM
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද පැවැත්වේ. මන්නාරම සමූහ මිනී වළේ කැණීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, අද පස්වරු 4.00ට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වෙන බව ය. එහිදී කැණීම කටයුතු ඉදිරියේදී නැවත ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති. මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු සඳහා සහභාගී වූ සියලු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී විය යුතු බව දැනුම් දී ඇතැයි ද සමින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය. කාබන් පරීක්ෂාව සඳහා යොමු කළ අස්ථි කොටස් සම්බන්ධයෙන් වන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ වාර්තාව මහජන ලියවිල්ලක් ලෙස අධිකරණය මගින් පසුගිය 07 වන දා ප්‍රකාශ කළේ ය. අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 8 වන දා නියෝග කළේ, කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ය.