140 වැනි නිල් මහ සටන හෙට

රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන හෙට

by Hashini De Mel 06-03-2019 | 3:31 PM

COLOMBO (News 1st) - ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතවේ.

ඒ, කොළඹ මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී ය. ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක් ව ඇත්තේ 1878 දී ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී ආරම්භ වූ සාන්ත පීතර සහ ප්‍රින්ස් ඇල්ෆර්ඩ් විදුහල අතර තරගයයි. එසේ වූව ද 1879 වසරේ සිට ආරම්භ වූ මෙම නිල් මහ සටන ලොව මෙතෙක් නොකඩවා පවත්වනු ලැබූ එකම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්ව තිබීම විශේෂත්වයකි. මෙම තරගය නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වේ. නිල් මහ සටනේ මෙතෙක් පැවති තරග 139 අතුරින් තරග 35ක් ජයග්‍රහණය කිරීමට රාජකීය විද්‍යාලය සමත්ව ඇති අතර තරග 34 ක් ජයග්‍රහණය කිරීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්ව ඇත. වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් වරට තරගයක් ජයග්‍රහණය කිරීමේ ගෞරවය දිනා ඇත්තේ 2016 වසරේදී ගීෂාත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් යුත් රාජකීය කණ්ඩායමයි. තෝමස් ක්‍රීඩකයින් අවසන් වරට අශාන් පීරිස්ගේ නායකත්වය යටතේ 2007 වසරේදී ජයග්‍රහණය ලබාගෙන තිබේ. සාන්ත තෝමස් ක්‍රීඩකයින් මෙවර නිල් මහ සටනට පිවිසෙන්නේ, නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේදී සම්පූර්ණ ජයග්‍රහණ 6 ක් දිනා ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙසයි. මෙවර තෝමස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ, සිතාර හපුහින්නයි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරන රාජකීය විද්‍යාලය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම දක්වා පැමිණ තිබේ. මෙවර රාජකීය කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ, කවිදු මාදාරසිංහයි.