පාසල් සිසුන්ට පොලීසියෙන් දැනුම් දීමක්...

පාසල් සිසුන්ට පොලීසියෙන් දැනුම් දීමක්...

by Staff writer 05-03-2019 | 7:41 AM
COLOMBO (News 1st) : පාසල් මහා ක්‍රිකට් තරඟාවලි පැවැත්වෙන කාල සීමාව තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වළකින්නැයි, පොලීසිය පාසල් සිසුන්ට දැනුම් දී සිටී. පොලීසිය සඳහන් කළේ, එලෙස විනය විරෝධී ලෙස ක්‍රියාකරන සිසුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර අදාළ කාලසීමාව තුළ පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පාසල් මහා ක්‍රිකට් තරගාවලීන් පැවැත්වෙන කාල සීමාවේ බාලිකා පාසල් සඳහා ද, විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, පාසල් කාල සීමාව තුළ පමණක් එම ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. බාලිකා පාසල් ආශ්‍රිතව විවිධ අකටයුතුකම් කරමින්, පීඩාකාරී ලෙස හැසිරෙන සිසුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද, පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර පාසල් මහා ක්‍රිකට් තරගාවලීන් පැවැත්වෙන කාල සීමාවේ දීප ව්‍යාප්තව මාර්ග ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බීමත් රියැදුන් සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. ඒ සඳහා අනියුක්ත කර ඇති අතිරේක පොලිස් නිලධාරීන් සංඛ්‍යාව දහසකට අධිකයි. මේ අතර පසුගිය වසරේ පාසල් ක්‍රිකට් තරඟාවලි පැවැත්වූ කාල සීමාවේ මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් 250අධික පිරිසකට එරෙහිව නඩු පැවරූ බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.