by Staff writer 26-02-2019 | 7:08 PM
COLOMBO (News 1st) - හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර 2 ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතු වලක්වාලමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පනවා තිබේ.
එම ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, තම දූෂණ මර්දන රීති කඩ කිරීමේ වරදට ඔහුට මෙම තහනම පැන වූ බවයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය කරුණු දෙකක් යටතේ හිටපු තේරීම් කමිටු සභාපතිවරයාට එරෙහි චෝදනා ගොනු කර තිබුණි.
සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත්වීම හෝ ප්‍රතික්ෂේප කිරීම හා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය විසින් කරනු ලබන පරීක්ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන කරුණු යටතේයි.
ඉහත චෝදනාවලට වරදකරුවීම හේතුවෙන් සනත් ජයසූරියට වසර 2 ක ක්‍රිකට් තහනමක් පැන වූ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
මේ අතර මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ ය.
එහි දැක්වෙන්නේ, අන්තර් ජාතික ක්‍රිකට් දූෂණ මර්දන ඒකකය නියම කළ දිනට තම දුරකතන සිම්පත සහ දුරකතනය ලබා නොදීමේ වරදට මෙම දඬුවම නියම කර බවයි.
ඒ අනුව තමා දූෂකයෙකු නොවන බවත්, අදාළ දිනට එම උපකරණ ලබාදීමට අපොහොසත්වීමේ වරදට මෙම දඬුවම පනවා ඇති බවත් ජයසූරිය පවසයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, පරීක්ෂණ කටයුතු සඳහා අධික කාලයක් ගතවීම හේතුවෙන් තමා එම චෝදනාව පිළිගැනීමට තීරණය කළ බවය.
ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකය පසුගිය වසරේ ඔක්තෝබර් 15 වැනි දා සිට වසර දෙකක කාලයක් තමන්ට තහනමක් පනවා ඇතැයි සනත් ජයසූරිය පවසයි.
මෙම චෝදනා එල්ල වූ දින සිට තමන් ස්වේච්ඡාවෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතුවලින් ඉවත් වූ බවත්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපමණ සේවයක් ඉටු කළ තමාට දූෂණ කටයුතුවලට සම්බන්ධවීමේ උවමනාවක් නොමැති බවත් ඔහු සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.
ඇලෙක්ස් මාෂල් ඇතුලු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පසුගිය දිනවල මෙරට ක්‍රීඩකයින් හා නිලධාරීන් විවිධාකාරයේ ප්‍රශ්න කිරීම්වලට ලක් කරමින් සිදු කළ රංගනයන් මෙරට ක්‍රීඩා ලෝලීන්ට නොරහසක්.
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයේ දූෂිතම රට ලෙස ලොවට හුවා දක්වමින් මෙරට ක්‍රීඩාව මෙලෙස අපකීර්තියට පත් කිරීමට විටින් විට ඔවුන් ක්‍රියාත්මක කළ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මතු වන්නේ සැකයකි.
එංගලන්ත තරග සංචාරයේ සිටම මෙරට සිය ක්‍රියාවලිය විවිධාකාරයෙන් ක්‍රියාත්මක කළ ඇලෙක්ස් මාෂල් ඇතුළු අයි.සි.සී දූෂණ මර්දන කණ්ඩායමට මෙරට ක්‍රීඩකයින් හෝ නිලධාරීන් කිසිදු අයුරක තරග පාවාදීම් ඇතුලු ක්‍රියාවකට සම්බන්ධ බවට ඔප්පු කිරීමට මෙතෙක් නොහැකිවී තිබේ.
මෙවැනි චෝදනා ඉදිරියට දමමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නිලධාරීන් මේ උත්සාහ කරන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට පමණක් නොව ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ සිය දක්ෂතා ඉහළින්ම ප්‍රකට කළ සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයින්ගේ ද ගෞරවය ජාත්‍යන්තර ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීමට නොවන්නේ ද ?