by Staff writer 16-02-2019 | 6:55 PM
COLOMBO (News 1st) - වසර 8කට පසු ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දකුණු අප්රිකාවේදී ටෙස්ට් ක්රිකට් තරගයක් ජය ගත්තේ ය.
අද තියුණු තරගයකින් පසු ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් ශ්රී ලංකාව ජය ගත්තේ එක් කඩුල්ලකිනි.
තරගය අද සිව් වැනි දිනයට ආරම්භ කරන විට ජයග්රහණය සඳහා ලකුණු 304ක් හඹා යමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 83ක් රැස් කර ගෙන සිටියේ ය.
ජයග්රහණයේ බලාපොරොත්තු සමගින් පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට දකුණු අප්රිකා පන්දු යවන්නන් එල්ල කළේ දැඩි පීඩනයකි.
ක්රීඩකයින් 5 දෙනෙකුටම ලකුණු 5 සීමාව පසු කරන්නට නොහැකි විය.
එම අසීරු අවස්ථාවේ හුදෙකලා සටනක නිරත වූයේ කුසල් ජනිත් පෙරේරායි.
ඔහු ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යමින් තම ටෙස්ට් ක්රිකට් දිවියේ දෙවැනි ශතකය ද වාර්තා කළේ ය.
ඔහුගේ විශිෂ්ට පිති හරඹයේ ප්රතිඵලය වූයේ අගනා වටිනා ලකුණු 153කි.
කුසල් ඒ සඳහා 6 පහර 5 ක් සහ හතරේ පහර 12 ක් එල්ල කළේ ය.
කුසල් ජනිත් සහ විශ්ව ප්රනාන්දු අවසන් කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 78කි.
එය ක්රිකට් ඉතිහාසයට එක් වුණේ, ටෙස්ට් තරගයක සිව් වැනි ඉනිමේ අවසන් කඩුල්ලට පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතාව ලෙසයි.