චන්දිමාල්ට ටෙස්ට් නායකත්වය අහිමිවන ලකුණු

චන්දිමාල්ට ටෙස්ට් නායකත්වය අහිමිවන ලකුණු

by Staff writer 05-02-2019 | 1:27 PM
COLOMBO (News 1st) : පසුගිය මාස කිහිපයේ ලබා ගත් පරාජයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේ දී යම් විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත. ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අවසන් ටෙස්ට් ඉනිම් 10 දී ඔහු ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණක් වීම හේතුවෙන් චන්දිමාල් හට එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ යම් විවේක‍යක් ලබා දීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට තරග 2 ට 0ක පරාජයක් හිමිකර දෙමින් නිමාව දුටු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය තුළදී ද ඉනිම් 4ක් පුරාවට පිතිකරණයේ නිරත වූ නායක චන්දිමාල්ට රැස් කර ගැනීඹට හැකි වූයේ ලකුණු 15 ක් පමණි. නායක චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කලේ නිමා වූ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන ඉනිමේ දී ය. කෙසේ වෙතත් මේ මස 13 වැනිදා දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට වත්මන් ටෙස්ට් ක්‍රිකට් නයක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් සංචිතයට ඇතුළත් නොකළ හොත් එහි නායකත්ව වගකීම වත්මන් උපනායකයා වන දිමුත් කරුණාරත්න හට හිමි වන බව වාර්තා වේ. ලබන 13 වනදා ආරම්භ වන තරග 2කින් යුත් දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වේ. ඊට අදාළ ශ්‍රී ලංකා සංචිතය සඳහා අවිශ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, උපුල් තරංග, ඇන්ජෙලෝ පෙරේරා යන ක්‍රීඩකයින් නම් කිරීමට නියමිත බව සඳහන් ය. අයර්ලන්ත ඒ කණ්ඩායමට එරෙහිව නිමා වූ එක්දින තරගාවලියේ දී ඔවුන් දැක් වූ දක්ෂතා ඊට හේතු වී තිබේ. එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස් ද එක්දින සංචිතය සදහා නම් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.