අර්ජුන් ඇලෝසියස්ගෙන් අධිකරණයට ඉල්ලීමක්..

අර්ජුන් ඇලෝසියස්ගෙන් අධිකරණයට ඉල්ලීමක්..

by Staff writer 24-01-2019 | 6:11 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙකුට සහ විශ්‍රාමික නිලධාරියෙකුට එරෙහිව මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නඩු පවරන්නැයි අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණ. මෝසමක් ගොනු කර නඩුව කැඳවා එම ඉල්ලීම කළේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් අලෝසියස් මහතාගේ නීතිඥ සජිත ජයවර්ධන මහතායි. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති බැවින් අදාළ පුද්ගලයින් දෙදෙනා නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඔහු එම ඉල්ලීම කළේ, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්‍රාමික නියෝජ්‍ය මහබැංකු අධිපති ආනන්ද සිල්වා යන මහත්වරුන් සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. ජයවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නිලධාරීන් දෙදෙනා අතරින් එක් අයෙකුට මේ වනවිට උසස්වීමක් ද ලබා දී ඇති බවයි. එමෙන්ම එම නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර නොගැනීම සාධාරණ යුක්තිය ඉටු කිරීම පැහැර හැරීමක් බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය. ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම විමර්ශනවලට අදාළ වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම කරුණු දැක්වීම සිදුකරන ලෙසට අධිකරණය ඔහුට දැනුම් දුන්නේ ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ, පෙබරවාරි 25 වනදා එම කරුණු දැක්වීම සිදුකරන ලෙසටයි.