by Staff writer 15-01-2019 | 10:11 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් විරෝධතා 15ක්ම ඉවත දමා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උප භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාර දුන් ගිහාන් වීරසිංහ මහතා ඒ සඳහා නිසි සුදුසුකම් සපුරා නොමැති බවට එල්ල වූ චෝදනාව ක්‍රිකට් නිලවරණ කමිටුව පිළිගෙන තිබේ.
ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ අනුව ය.
මේ අතර විරෝධතා ගොණු කළ අනෙක් නාම යෝජනා 15ම පිළිගෙන තිබේ.
තනතුරු 7ක් වෙනුවෙන් නාම යෝජනා 26ක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණට ඉදිරිපත්ව ඇති අතර ඉන් නාම යෝජනා 6කට කිසිදු විරෝධතාවක් පළ නොවීම ද විශේෂත්වයකි.
අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ජයන්ත ධර්මදාස, ඊස්මන් නාරංගොඩ, නලීන් වික්‍රමසිංහ සහ සංජය සේදර යන මහත්වරුන් ඉදිරිපත් කළ නාම යෝජනාවලට කිසිදු විරෝධතාවක් පළ වී නොමැත.
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තනතුරට මොහාන් ද සිල්වා, කේ. මතිවානන්, ෂම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ඉදිරිපත්ව සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ත්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් පත් කළ අතර විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා සභාපති ලෙස කටයුතු කරන එහි සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් සහ විශ්‍රාමලත් අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව යන මහත්ම මහත්මීන් ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 7 වන දා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවත්වීමට නියමිත ය.