by Staff writer 19-12-2018 | 12:08 PM
COLOMBO (News 1st) - තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
ජය පරාජයෙන් තොරව තරගය අවසන් කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 287ක්.
අද උදෑසන ක්‍රීඩාංගණයට බලපෑ වර්ෂාපතනය හේතුවෙන් තරගය ආරම්භ වීම පැයකට අධික කාලයක් ප්‍රමාද වූ අතර තරගය අතරවාරයේ ඇදහැළුන වර්ෂාව හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ඉනිමක පරාජයෙන් බේරීමට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 102ක් අවසානයේ කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 259ක්.
ඇන්ජලෝ මැතිව්ස් සිය 9 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන විට ලකුණු 120ක් රැස් කළේ ය.
කුසල් මෙන්ඩිස් සිය 6 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 141කි.
කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාම නවසීලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ශතකය මෙය වන අතර නවසීලන්තයට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවට මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් හිමිකම් කීවේ අද තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ලට ලකුණු 274ක සබඳතාවක් ගොඩනගා ගනිමිනි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1994 වසරේදී අසංක ගුරුසිංහ හා හෂාන් තිලකරත්න ගොඩනැගූ ලකුණු 192 ක සබඳතාවයි.
තව ද කුසල් හා මැතිව්ස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ගොඩනැගූ දෙවන ඉහළම සබඳතාවට ද හිමිකම් කියයි.
ශ්‍රී ලංකා පිතිකරුවන් යුගළයක් වාර්තා කළ 34 වන ටෙස්ට් ද්විත්ව ශතක සබඳතාව මෙය වන අතර ආසියාවෙන් පිටත වාර්තා කළ 7 වන ද්විත්ව ශතක සබඳතාව ද මෙයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කළේ, වසර 12කට පසු වීම විශේෂත්වයකි.
අවසන් වරට 2006 වසරේදී නවසීලන්තයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කළේ ය.
කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 282ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 578ක් රැස් කළේ ය.
අනතුරුව ලකුණු 296ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගළය වන දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක යන දෙදෙනාම පිළිවෙළින් ලකුණු 10කට හා ලකුණු 3කට දවා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන්නෝ සමත් වූහ.
ඉන් අනතුරුව පිටියට පැමිණි ධනංජය ද සිල්වා හට ද ලකුණු රැස් කිරීමට නොහැකි විය.
තරගාවලියේ දෙවන තරගය එළැඹෙන 26 වන දා ක්රයිස්චර්ච්හිදී පැවැත්වීමට නියමිත ය.