මැතිව්ස් හා මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩගනිති

මැතිව්ස් හා මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩගනිති

by Staff writer 18-12-2018 | 11:30 AM
COLOMBO (News 1st) : තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිව්වන දිනටත් නවසීලනත්යේ වෙලිංටන්හීදී පැවැත්විණ. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 20 ක් රැස් කරගෙන සිටියේ ය. කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් දිවියේ 6 වන ශතකය වාර්තා කරමින් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 116කි. ඇන්ජෙලෝ මැතිව්ස් අද ඔහුගේ 9 වන ටෙස්ට් ශතකය වාර්තා කළ අතර අද දිනය සඳහා තරගය නතර කරන විට ඔහු නොදැවී ලකුණූ 117 ක් රැස් කරගෙන සිටියේ ය. කුසල් මෙන්ඩිස් හා ඇන්ජෙලෝ මැතිව්ස් යන දෙදෙනාම නවසීලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ශතකය මෙය වන අතර නවසීලන්තයට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. කුසල් මෙන්ඩිස් හා ඇන්ජෙලෝ මැතිව්ස් අද දිනය නිමා වන විට ශ්‍රී ලංකා ඉණිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු සබඳතාව ලකුණු 246කි. එය වාර්තා අතරට එක්වන්නේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1994 වසරේදී අසංක ගුරුසිංහ හා හෂාන් තිලකරත්න ගොඩනැගු ලකුණු 192 ක සබඳතාවයි. තවද කුසල් හා මැතිව්ස් මේ වන විට සිව්වන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ගොඩනැගු දෙවන ඉහළම සබඳතාවට ද හිමිකම් කියයි. කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 282කි. ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉණිම ක්‍රීඩා කළ සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 578 ක් රැස් කළේ ය. එහීදී ආරම්භක පිතිකරු ටොම් ලැතම් සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් නොදැවී ලකුණු 264 ක් වාර්තා කිරීම විශේෂත්වයකි. අනතුරුව ලකුණු 296 ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක යන දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 10කට හා ලකුණු 3කට දවා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන්නනෝ සමත් වූහ. ඉන් අනතුරුව පිටියට පැමිණි ධනංජය ද සිල්වාට ලකුණු රැස්කිරීමට නොහැකි විය. අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉණිමට වඩා කඩුලු 7 ක් අතැතිව ලකුණු 74 ක් පිටුපසින් සිටී.