ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 99ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 99ක් ඉදිරියෙන්

by Staff writer 24-11-2018 | 8:26 PM
COLOMBO (News 1st) - එංගලන්ත - ශ්‍රී ලංකා 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විණි. තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 99 කිනි. තරගය අද ආරම්භ කෙරුණේ, පළමු ඉනිම සඳහා එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 312 ක් රැස් කර සිටියදී ය. ලකුණු 24ක් තුළ එංගලන්තයේ අවසන් කඩුලු 3 බිඳ වැටිණි. ඔවුන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 336කි. ලක්ෂාන් සඳකැන් ලකුණු 95ට කඩුලු 5 යි. ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න. ගුණතිලක ලකුණු 18 කට දැවී ගියේ ය. දිමුත් කරුණාරත්න සමග එක් වූ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ලට ලකුණු 142ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ලකුණු 73 යි. 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න ලකුණු 83 කට දැවී ගියේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුණේ, ලකුණු 240 ක් පමණි. පිතිකරුවන් 5 දෙනෙකුම දැවි ගියේ ලකුණු 6ට අඩුවෙනි. ආඩිල් රශීඩ් ලකුණු 49 ට කඩුලු 5 යි. අද තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 3කි.