මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සූදානම්

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සූදානම්...

by Staff writer 10-11-2018 | 8:28 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබී ය. එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවේ 2 - ඈ අනු ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වැනි ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ 5 වැනි අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි මස 5 වන දා සිදු කිරීමටත් ඒ සඳහා නාම යෝජනා භාරගැනීම මේ වසරේ නොවැම්බර් මස 19 වන දා සිට 26 වැනිදා දහවල් 12 දක්වා සිදුකිරීමටත් ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයාමා නියම කර තිබේ. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව රැස් වන්නේ 2019 ජනවාරි මස 17 වැනිදායි. ජනාධිපතිවරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ, රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුවයි. ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම රජයේ මුද්‍රණාල පරිශ්‍රයට පැමිණියහ. මේ අතර අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් හමුවීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යයට අදහස් පළ කළහ. මේ අතර ඊයේ රාත්‍රීයේ තවත් කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව මේ වන විට දිවුරුම් දී ඇති කැබිනට් අමාත්‍යවරු ගණන 21කි. මේ අතර ඊයේ පස්වරුවේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනිණ.