ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමාවෙයි

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමාවෙයි

by Staff writer 07-11-2018 | 5:58 PM

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද දෙවැනි දිනටත් පැවැත් විණි.

අද දිනය සඳහා තරගය නරත කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 38 ක් ය. දෙවැනි දිනය සඳහා තරගය අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කරගෙන සිටියේ ය. බෙන් ෆෝක්ස් සිය මංගල ටෙස්ට් ශතකය අද වාර්තා කළේ ය. දිල්රුවන් පෙරේරා ලකුණු 75 ට කඩුලු 5 ක් දවා ගත්තේ ය. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දොනා දැවී ලකුණු 342 ක් රැස් කර තිබේ. දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ ය. දිමුත් කරුණාරත්න ලකුණු 4 කට දැවී ගියේ ය. කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් රැස් කළ අතර නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 33 ක් රැස් කර තිබේ. ටෙස්ට් දිවියේ 30 වැනි අර්ධ ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් රැස් කර ඇත. සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වන රංගන හේරත් පන්දුවට පහරදීමට පැමිණෙන අවස්ථාවේදී එංගලන්ත ක්‍රීඩකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය. රංගන හේරත් නොදැවී ලකුණු 14 යි. මොයින් අලී ලකුණු 66 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම අද පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 203 ක් රැස් කර තිබේ. දිනය නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 177 කි.